(යොහාන් භාසුර)

පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව අසළදී ගිලන්රථ රියදුරෙක්ට වෙඩි තැබීමට සම්බන්ධ වූයේ යැයි කියන පුද්ගලයන් සිවුදෙනාගෙන් එක පුද්ගලයෙක් සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයකුද   අත්අඩංගුවට ගත් බව පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පානදුර, අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සිද්ධියට කෙළින්ම සම්බන්ධ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු තොරතුරු රැසක් අනාවරණය වූ බව කී එම උසස් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන සිටින අනෙක් පුද්ගලයා සැකකරුට නවාතැන් දුන් අයෙක් බව ද සඳහන් කළේය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පානදුර වලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙයක් වන ප්‍රමෝද් සඳකැළුම් නොහොත් ‘සිම් මල්ලී’ හදුනාගෙන ඇති බවත් හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන චමිඳු සංකල පීරිස් සහ ‘සිම් මල්ලී’ නැමැත්තන් ගිනිඅවි සහිතව සිටි පුද්ගලයන් ලෙස හදුනාගෙන ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම පුද්ගලයන් දෙදෙනාම මීට පෙර කිසිඳු බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි ලැබූ නොමැති පුද්ගලයන් බවට ද පොලිසිය කියයි.

යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිවුදෙනෙක් පසුගිය 27 වැනිදා පෙරවරුවේ පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව අසළදී ගිලන්රථක් පදවමින් සිටි රියදුරෙක්ට වෙඩි තැබූ අතර ගිලන්රථයට වෙඩි වැදුන ද ඔහුට කිසිඳු හානියක් නොවීය.