ප්‍රතිකාර ගැනීමට ගාල්ල කරාපිටිය රෝහලට පැමිණි රෝගින් පිරිසක් අධ්‍යක්ෂගේ කාමරය අසළට ගොස් කෑ කෝ ගසමින් ප්‍රතිකාර කරන ලෙස බළ කළහ. ඔවුනට ප්‍රතිකාරයක් ලැබුනේ ද නැත. ප්‍රතිකාර නොලද පිරිසක් හිස් අතින් ගියහ. රෝහල් ආරක්ෂයෝ සහ පොලිස් කණ්ඩායමක් ද එහි රැඳී සිටියහ.

රෝහලේ ගොඩගැසී ඇති කුණු නගර සභාවෙන් ඉවත් නොකළැයි රෝහලේ සායන ප්‍රතිකාර ද නතර කැර ඇත. හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම පමණක් සිදුකරන බව රෝහල් බලධාරීහු පවසති. දැනට ගොඩගැසී ඇති කුණු ඉවත්කර ඉදිරියේදී ද කුණු ඉවත්කරන බවට ගාල්ල මහ නගර සභාවෙන් තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු රෝගී සත්කාර සේවා ආරම්භ නොකිරීමට තීරණය කැර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා පවසන්නේ ඉරිදා පස්වරුවේ සිට රෝහලේ කුණු රෝහලට අයත් වෙනත් ඉඩමකට ගෙනගොස් වළ දැමීමේ කටයුතු ආරම්භකැර ඇති බවයි. රෝහලේ වාට්ටුවලින් ඉවත දමන සායනික අපද්‍රව්‍ය පිළිස්සීමට කරාපිටියේ දාහකයක් ඇතැයි ද දිරායන ද්‍රව්‍ය දැමීම සඳහා ජීව වායු ජනක ඇතැයි ද නගරාධිපතිවරයා කියයි. එසේ වුව ද ඒවා නිසි පරිදි කළමනාකරණය නොකර රෝහල් බලධාරීන් නගර සභාවට වරද පටවන බව ද නගරාධිපතිවරයා කියා සිටියේය.

නගරාධිපති  මෙසේ ද කීවේය.

‘‘නගර සභාවෙන් ඉවත්කරන්නේ රෝහලේ මුළුතැන්ගේ අපද්‍රව්‍ය පමණයි. දැනට රෝහලේ ගොඩගසා තිබෙන්නේ සායනික අපද්‍රව්‍ය සහිත කළුපාට පොලිතීන් මළු. මේ විදියට හැමදාමත් කරාපිටියේ සායනික අපද්‍රව්‍යත් අපට ඉවත්කරන්න බැහැ. අපි ඉරිදා සිට කුණු ඉවත්කිරීම ආරම්භ කළ බව දැන දැනත් රෝහල් බලධාරීන් දැන් රෝගීන් අමාරුවේ දමා ලිඛිත පොරොන්දු ඉල්ලනවා. දුර බැහැර සිට පැමිණෙන අසරණ රෝගීන් පත්වන අසීරුතාව සළකා බලා ඔවුන්ට සහනයක් සැළසීම මූළික කාරණයක් හැටියට ගෙන ඉදිරියේ දී මුළුතැන්ගේ අපද්‍රව්‍ය නගර සභාවෙන් ඉවත්කරන බවට අධ්‍යක්ෂවරයා ඉක්මණින් ලියුමක් භාර දෙනවා. “