(අංජුල මහික වීරරත්න සහ ජේ.කේ.එල්.චාමින්ද)

මෙරටදී සිදු කිරීමට අපහසු සහ අතිශය සංකීර්ණ හෘද රෝග වලින් පෙළෙන ශ්‍රී ලාංකික ළමා හෘද රෝගී දරුවන් 13 දෙනෙකු වෙනුවෙන් 'Take Heart Mercy Mission' විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායම විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේදී නොමිලේ හෘද සැත්කම් සිදු කිරීමට පියවර ගෙන ඇත.

දේශීය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හා එක්ව සිදු කෙරෙන මෙම සැත්කම් සහ ඒ ආශ්‍රිත වෛද්‍ය කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අද (22) කරාපිටිය ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී හෘද සැත්කමක් සිදු කෙරෙන ආකාරය සෘජුවම නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අනතුරුව ළමා දැඩි සත්කාර ඒකකයේ (Paediatric Intensive Care Unit) නිරීක්ෂණයක ද නිරත වූ අතර, සංකීර්ණ සැත්කම්වලින් පසු දරුවන් සුවය ලබන ආකාරය 'Take Heart' වෛද්‍ය කණ්ඩායම විසින් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පැහැදිලි කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පෙන්වා දුන්නේ, අතිශය සංකීර්ණ හෘද රෝග හඳුනා ගැනීමෙන් පසුව මෙතෙක් මෙරටදී ලබා දීමට හැකි වූයේ රෝග විනිශ්චයක් පමණක් බවත්, නියමිත වේලාවට මෙවැනි සංකීර්ණ සැත්කම් සිදු කිරීමෙන් දරුවාගේ පමණක් නොව සමස්ත පවුලේ සහ සමාජයේම අනාගතය යහපත් ලෙස වෙනස් වන බවත්ය.

(ඡායා ජේ.කේ.එල් චාමින්ද)