(සුමිත් පොතුපිටිය)

ප්‍රසිද්ධ  රංගන ශිල්පීයකු ඇතුළු සිව්දෙනෙකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක යතුරු පැදියක ගැටී ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසි ගුරුවරියක් අද (04) බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.

මෙහිදී රෝහල් ගතකර ඇත්තේ  කළුතර උතුර, දෙදියවල ප්‍රදේශයේ පදිංචි  ජාත්‍යන්තර පාසලක  ඉංග්‍රීසි ගුරුවරියක් බව පොලිසිය කීය.

රංගන ශිල්පීයා තවත් මිතුරන් සිව්දෙනෙකු සමග සාදයකට සහභාගි වී  මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී , මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගත් ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවී ඇතැයි පැවසෙයි.

යතුරුපැදිය ගුරුවරියගේ පියා පදවා ඇති අතර අනතුරින් ඔහුට හානියක් සිදුවී ‌නොමැති බව පැවසෙයි

ප්‍රදේශවාසීන් එක්ව  මහා මාර්ගයේ ඇදවැටී සිටී ගුරුවරිය ත්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇති අතර, ඇය අදම (04) ශල්‍යකර්මයක් සදහා යොමු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මොටර් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් ස්වසන නාල පරීක්ෂාවක් සිදුකිරීමට නියමිත බව පොලිසිය කීය.

බීමත්ව සිටී පිරිස සමග ප්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව  ඇතිව ඇති බවත්, එය පසුව ගුටි කෙළියක් දක්වා වර්ධනය වී ඇති බවත් සිද්ධිය ඇසින් දුටුවන් පැවසීය. 

ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කල රංගන ශිල්පීයා දැඩි ප්‍රහාරයකට ලක්ව ඇතැයිද පැවසෙයි.

කළුතර උතුර  ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක දයන්ත වටගෙදර මහතාගේ උපදෙස් පරිදි , සැරයන් සී.ජේ.විතානාඅරච්චි (27576), කොස්තාපල්වරුන් වන එම්.එම්.ලක්මාල් (72157) සහ එම්.ඩබ්ලිව් .එස්. රුවන්  (61911) පරීක්ෂණ පවත්වති .