ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් උදය ගම්මන්පිල මහතා සමඟ එක්ව එම පක්ෂයෙන් ඉවත්වූ එහි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හත් දෙනෙක් අද (27) යළිත් ජාතික හෙළ උරුමයට එක්වූහ.

සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුන්කළහේනේ රතනරංසී හිමි, ලම්පහ නගර සභා මන්ත්‍රී නලින් සමන්ත, උඩුදුම්බර ප්‍රාදේශීය සභා මන්ත්‍රී අනුරුද්ධ මඩුගල්ල, පදියතලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජිත් රණවක, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහණ විල්බට් පෙරේරා, බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුමිත් නිශාන්ත, පානදුර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන පිරිස යළි හෙළ උරුමයට එක්වූහ.

උදය ගම්මන්පිළ තමන් රවටා පක්ෂයෙන් ඉවත්කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දීමට එක් කරගත් බවත් රැවටීමකට ලක්වූ බව අවබෝධවූ නිසා යළිත් හෙළ උරුමය හා එක්වීමට තීරණය කළ බවත් බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු පැවසූහ.