තම ආසනවලට ගොස් ඡන්දයට කටයුතු සූදානම් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියළුම මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන්නේය. අගෝස්තු 17 දා ඡන්දයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවා ගැනීම සඳහා බහුතර බලයක් ලබාගැනීමේ අවශ්‍යතාවය ද රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සන්ධානයේ අවුල් සඳහන් කළ එක්සත් ජාතික පක්ෂ නායකයා සිය මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජය සඳහා ඇපකැප වී වෙහෙස මහන්සි වී වැඩකළ යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේ ඡන්දයකට මුහුණ දීමට සූදානමින් නොසිටින බව ද දින සියයට පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එජාපය මෛත්‍රීපාල සිරිසේන ජනපතිට කිහිප විටක්ම බල කළ බව ද වික්‍රමසිංහ මහතා කියා සිටියේය. පක්ෂයේ ජාතික සම්මේලනය ලබන මාසයේ දී පැවැත්වීමට ද නියමිතය. පාර්ලිමේන්තුව විසිරවීමත් සමග අගමැති වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය භාරකාර රජයක් ලෙස ක්‍රියාකරයි.