(හර්ෂණ තුෂාර සිල්වා/ ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

සිව්වැනි ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලිය සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ ඔක්තෝබර් 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලියක් සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ ඉසව්වක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ පළමුවරටය. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වයක් වශයෙන් ක්‍රියාත්මක වන ‘කොළඹ සංස්කෘතික මධ්‍යස්ථාන භාරය’ හා ‘කොළඹ සංස්කෘතික කේන්ද්‍රස්ථානය’ එක්ව මෙය සංවිධානය කරයි. 

“එක්ව ගැයුම, ජාතීන් එකමුතු කරයි” යන තේමාව යටතේ පැවැත්වෙන සිව්වැනි ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලියට සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ ඉසව්වට ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් 17ක සමූහ සංගීත කණ්ඩායම් 72ක් සහභාගී වීමට නියමිතය. ඒ අනුව තරගකරුවන්, ජූරි සභිකයන් ඇතුළුව දේශීය හා ජාත්‍යන්තරය නියෝජනය කරමින් 3,500කට වැඩි පිරිසක් සහභාගී වන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ සහයෝගය ද සහිතව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ඉන්ටර්කූලර් සහ මෙරට හා ජාත්‍යන්තරයේ ප්‍රධානතම තේ සන්නාම නාමයක් වන ඩිල්මා හා හවුල්වී මෙය සංවිධානය කරයි. විජය පුවත් සමාගම මෙහි මුද්‍රිත අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරයි.

ශ්‍රී ලංකාවේ සංගීත, අධ්‍යාපන, සංස්කෘතික හා සංචාරක යන ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් සතියක් පුරා පැවැත්වෙන  සිව්වැනි ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලිය සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ සමගාමීව සමූහ ගායන තරග, මිත්‍ර සංදර්ශන හා සැනකෙළි රැසක් පැවැත්වීමට නියමිතය. ඊට දේශීය හා ජාත්‍යන්තර සංගීතය, ගීත හා නර්තන ඇතුළු සංස්කෘතිකාංග රැසක් ද ඇතුළත් වේ. 

ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලිය සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ ඉසව්ව කාණ්ඩ 10 බැගින් යුත් ප්‍රධාන තරග තුනක් යටතේ පැවැත්වේ. විවෘත, තරුණ හා ළමා යන වයස් කාණ්ඩ යටතේ ආසියානු ශාන්තිකර ශූරතා තරගාවලිය පැවැත්වෙන අතර ජාත්‍යන්තරයේ තරගකාරී ඇත්දැකීම් ඇති කණ්ඩායම් ‘ග්‍රෑන්ඞ් ප්‍රික්ස් ඔෆ් නේෂන්ස්’ එකිනෙකා සමගින් තරග කරයි.