(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත කුලරත්න )

ශ්වසන ආබාධයක් නිසා වසර 13 තිස්සේ ගිලන්ව සිටින දියණියක නවකතාවක් ලියා එයින් ලැබුණු මුදලින් සහ පරිත්‍යාගශීලීන්ගෙන් ලද මුදල්වලින්  රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා වෙන්ටර්ලේටර් යන්ත්‍රයක්  නිකවැරටිය මූලික රෝහලට පරිත්‍යාග කිරීමේ පුවතක් කැස්බෑව මාකන්දනෙන් වාර්තා වෙයි.

ඇය කැස්බෑව මාකන්දන ගුණරත්න මාවත පදිංචි පවනි මධුභාෂිණී නම් දියණියයි.  ඇය " රුවල් නැවේ සතුට බිඳුනු චාරිකාව " නමැති නවකතාවක් රචනා කර එය පසුගිය දා එළිදැක් වුවාය.  

වයස අවුරුදු 25ක් වන පවනි වසර දහතුනක කාලයක් ස්වසන අපහසුතාවයෙන් පෙළෙමින් ගිලන් ඇඳක් මත කාලය ගත කරන්නීය.

කුඩා කල සිටම ලේඛන කලාවට ඇය දක්ෂතා වුවාය. 

පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද පවනි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් ව ඇයට අධ්‍යාපනය ලැබීමට හැකි වූයේ වසර තුනකි.

ඇය නිවසේ රූපවාහිනි යන්ත්‍රය නැරඹීමේ දී එහි ශබ්දය වැඩි කර ඇසීමට පුරුදු වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ මව්පියන් ඇයගෙන් ඒ පිළිබඳ විමසීමේදී තමන්ට ඇසීමේ දුර්වලතාවයක් තිබෙන බවට පවනිට අවබෝධ විණි

එම රෝගාබාධයක් සමගම ඇයගේ මව්පියන් ඇය වෛද්‍යවරුන් හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගත්තත් දිනෙන් දින ඇයගේ ශ්‍රවණා බාධය දැඩි වන්නට විය

මාසයක් පමණ ගත වෙද්දී පවනි ට ආහාර ගැනීමේ අපහසුතාවය මෙන්ම කතා කිරීමේ අපහසුතාවය ද ඇතිවී තිබිණි

අනතුරුව උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇයව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇයට වැළඳී ඇත්තේ brown vialetto van laere syndrome නැමැති අතිශය දුර්ලභ රෝගයක් බව සනාථ කරගෙන තිබිණි

අන් තරුණියන් මෙන් දිව පැන ඇවිදීමට තියා, සිය කටහඬ අවදි කිරීමට තරම් පවනි ට වරම් නැත ,ඇය ඒ සියල්ල එළිදක්වන්නේ  කොළයක ලියා සිය මවට පියාට හෝ සහෝදරියට පෙන්වමිනි.

කොතරම් රෝගී වුවද ලේඛන කලාවට දැඩි ආසාවක් දැක් වූ පවනි  හිතේ රැඳුණු සිහිනයක් විකසිත කර ගත්තාය. ඒ ‘‘රුවල් නැවේ සතුට බෙදන චාරිකාව‘‘ නමැති නිර්මාණය එළි දැක්වීමෙනි.

රුවල් නැවේ සතුට බෙදන චාරිකාව පිටු 32කින් සමන්විතය. මෙම නිර්මාණය නවකතාවක් ලෙසින්  එළිදැක්වීමට ඇයට ඕස්ට්‍රේලියාවේ සිටින හිතවතකු මූල්‍ය දායකත්වය දරු බව ඇගේ පියා වන අසෝක ජයනාත් මහතා පවසයි.

පවනිගේ නව කතාවේ මුල් පිටපත ඇය කැස්බෑව මාකන්දන සංකප්ප විහාරයේ උග්ගොඩ ධම්මින්ද හිමියන්ට ඉකුත් දා පිළි ගැන්වුවාය.

එම පොත අලෙවි කිරීමෙන් හා හිතවතුගෙන් ලද මුදලින් ඇය තමා මෙන්ම ශ්වසන ආබාධ සහිත අයට ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා වෙන්ටර්ලේටර් යන්ත්‍රයක්  නිකවැරටිය මූලික රෝහල වෙත පරිත්‍යාග කළාය.