( රොමේෂ් මධුෂංඛ)

යාපනය කෝපායි පොලිස් වසමේ පාල්පන්නි මංසන්ධියේදී යාපනය සරසවියේ විද්‍යාපීඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (19) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කොට ඇතැයි පොලීසිය පවසයි.

විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් සහ තෙවන වසරේ සිසුන් වෙනුවෙන් පාල්පන්නි මංසන්ධියේ පිහිටි ස්ථානයක් තුළ රාත්‍රී භෝජන සංගහයක් පවත්වා තිබේ.

එහිදී දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව දෙපිරිස අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අදාල පහර දී ගැනීම සිදුව ඇත්තේ පෞද්ගලික හෝටලයෙන් පිටත බවටත් එහිදී පහරදීගැනීම් වලින් තුවාල ලැබූ සිසුන් 05 දෙනෙකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඉන් තිදෙනෙක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර දෙදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අදාල පහරදීගැනීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරික්ෂණ කටයුතු කෝපායි පොලීසිය විසින් සිදුකරයි.