(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල ප්‍රාදේශීය සභාවේ මහ සභා රැස්වීම  ගුටිබැට හුවමාරු හේතුවෙන් විනාඩි 45කට සීමා විය. 

එළැඹෙන 2022 වර්ෂය සදහා වූ අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති බැවින් වත්මන් සභාපතිවරයාට මහ සභාව කැදවීමට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බවට  මන්ත්‍රීවරුන් 21 දෙනකු  විරෝධය දැක්වීම හේතුවෙන් නොසන්සුන්තාවය ඇතිවිය.

මෙහිදී සභාපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී ජයතිස්ස මාකුඹුර මහතා අතර උණුසුම් වචන හුවමාරු සිදුවූ අතර මන්ත්‍රීවරුන් පානීය ජල බෝතල්වලින් පහරදී ගන්නා අයුරු ද දක්නට ලැබිණි.

සභාපති ඩී.එම්.ටී.බී. දිසානායක මහතා කියා සිටියේ අයවැය වාර්තාව දෙවරක් පරාජය වී ඇති අවස්ථාවක සභාව පවත්වාගෙන යාම හෝ සභාපති ධූරයෙන් ඉවත්වීම ආණ්ඩුකාරවරයා  දැනුම්දිය යුතුව ඇති බවයි.

නමුත් මේ වනතුරුත් ආණ්ඩුකාරවරයාගෙන් එවැනි මාර්ගෝපදේශනයක් නොලද බැවින් පළාත් පාලන කොමසාරිස්වරයාගේ උපදෙස් මත තමන් මහ සභාව රැස් කළ බවයි.

යම් හෙයකින් ආණ්ඩුකාරවරයා විසින් තමන්ට සභාපති ධූරයෙන් ඉවත්වන ලෙස දන්වා සිටියහොත් එම අවස්ථාවේ දීම ඉවත් වීමට තමන් සූදානම් බවද සභාපතිවරයා කියා සිටී. නමුත් ඒ වනතුරු සභාව පවත්වාගෙන යාම තමන් සතු වගකීමක් සහ අයිතිවාසිකමක් බවද සභාපතිවරයා කියයි.