(සුමිත් පොතුපිටිය) 

යතුරුපැදියක් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසු පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ පානදුර කොට්ඨාස රථවාහන අංශ නිළධාරීන් දෙදෙනෙකු සහ යතුරුපැදියේ පැමිණි පානදුර අවට පදිංචි පුද්ගලයන්  දෙදෙනෙකු බව පොලිසිය කීය.

පහරකෑ පොලිස් නිළධාරීන් දෙදෙනා  මධ්‍යම රාත්‍රි 12.10 ට පමණ පානදුර වලාන පාළම ආසන්නයේ රථවාහන අංශ රාජකාරි යෙදී සිට ඇති අතර , මොරටුව දෙසින් පානදුර දෙසට  යතුරුපැදියකින්  තිදෙනෙකු පැමිණ ඇති අතර , එය නවතා පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ පැමිණි දෙදෙනා  කලහකාරී අන්දමින් හැසිරී ඇති බව සදහන් වේ.

පසුව යතුරුපැදියෙන් පැමිණි අයෙක් පොලිස් නිළධාරීයෙකුට පහරදී ඇති බවත් , ඉන්පසු දෙපාර්ශවය අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත් සදහන් වේ.

පසුව පොලිස් නිළධාරීන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , එක් අයෙකු පලාගොස් ඇති බවත් පොලිසිය කීය.