(ටී.කේ.ජී.කපිල )

රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ( මිලියන 377 ) වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් , විශේෂ ගුවන් මගීන් මුදල් ගෙවා පහසුකම් සළසා ගන්නා " ගෝල්ඩි රූට් " ( Gold Route ) මගී පර්යන්තය ඔස්සේ මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු අත්අඩංගුවට ගත්බව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 

මෙසේ මෙතරම් විශාල වටිනාකමක් සහිත " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන අතර , ඇමෙරිකානු ඩොලර් 206 ක් වැනි විශාල මුදලක් ගෙවා , 'ගෝල්ඩි රූට් ' විශේෂ ගුවන් මගී පර්යන්තය භාවිතා කරමින් මෙරට තුළට මත්ද්‍රව්‍ය තොගයක් පළමු වරට රැගෙන ඒමට භාවිතා කිරීම ද විශේෂත්වයක් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ.

සැකකරු 23 හැවිරිදි වියේ පසුවන ඩොමිනිකා ජනරජයේ පුරවැසිභාවය හිමි එරට සරසවියක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි .

සැකකරු විශේෂ ගුවන් මගී පර්යන්ත පහසුකම ලබා ගෙන , රේගු නිලධාරීන් මග හැර , මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට සැළසුම් කළ ද , එම විශේෂ ගුවන් මගීන්ගේ ගමන් මලු ද , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීමකට ( Scan Test ) ලක් කිරීම නිසා මෙසේ මෙම මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි .