(අංජුල මහික වීරරත්න)

 කොළඹ කොටුව ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහනය සදහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටාමිවරුන්) හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්  වෙනුවෙන් ජංගම සෞඛ්‍ය සායනයක් කොටුව මහ පල්ලිය පරිශ්‍රයේ දී පැවැත්විණි.

සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" වැඩසටහන යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන “ආරෝග්‍යා” ජංගම සුව සායනය වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් ලෙස  මෙම ජංගම සායනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

මෙරට සියලු ජනතාවට ශාරීරික සහ මානසික නීරෝගි ජිවිතයක් ගත කිරීමට ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් පැවැත්වෙන මෙම ජංගම සෞඛ්‍ය සායන වැඩසටහන සෑම සති අන්තයකම දුෂ්කර ප්‍රදේශවල ජනතාව ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අතර මෙම වැඩසටහන ආරක්ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමකට අනුව පැවැත්විණි.

මෙහි දී අක්ෂි සායනය, දන්ත සායනය,  දියවැඩියා සායනය, ශ්වසන පද්ධතියට අදාළ රෝග පරීක්ෂා කිරීමේ සායනය, රුධිර පීඩන පරීක්ෂාව, ECG පරීක්ෂාව, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, කොලෙස්ට්‍රෝල් පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව,  ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම  ඇතුළු වෛද්‍ය සායන රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රිතව භාණ්ඩ ප්‍රවාහනය සදහා කම්කරු වෘත්තියේ යෙදෙන්නන් (නාටිමි) තුන්දහසකට ආසන්න පිරිසක් සිටන බව මෙහි දී අණාවරණය විය. ඔවුන්ගෙන් බහුතරයක් මෙම සායනය සදහා සහභාගී වූ අතර සර්වාංග රෝග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා නොමිලේ ඖෂධ ලබාදීම මෙන්ම වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්  රජයේ රෝහල්වල සායන වෙත යොමු කිරීමට ද මෙහිදී කටයුතු කෙරිණි.