(අංජුල මහික වීරරත්න)

නෝර්වේ කොන්සලර් ස්ටර්ල් හැරල්ඩ් පෙඩර්සන් මහතා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය.

එහිදී  කෘෂිකර්මාන්තය සඳහා පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව කරුණු කිහිපයක් සාකච්ඡා විය.

බලශක්තිය කිහිප ආකාරයකින් නිෂ්පාදනය කරගැනීම සම්බන්ධයෙන් නෝර්වේ කොන්සලර්වරයා  කරුණු ඉදිරිපත් කළේය.

එහිදී රටේ තිබෙන කෘෂිකාර්මික අපද්‍රව්‍ය භාවිත කරමින් ගෑස් නිෂ්පාදනය කළ හැකි බව ඔහු අවධාරණය කළේය. ඊට අමතරව සුළං ශක්තිය, සූර්ය ශක්තිය සහ සාගරයේ උදම් රළ මඟින් නිපදවන ශක්තිය භාවිත කරමින් බලශක්තිය නිපදවීමට ශ්‍රී ලංකාවට සහය විය හැකි බව සඳහන් කළේය. ඊට අදාලව ඔවුන් විසින් සකස් කළ ව්‍යාපෘති වාර්තාවක් ද මෙහිදී අමාත්‍යවරයා වෙත බාර දුන්නේය.

කෘෂිකාර්මික අපද්‍රව්‍ය තිබෙන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ගෑස් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි නෝර්වේ රටේ අවධානය යොමු වී ඇති බව කොන්සල්වරයා මෙහිදී  ප්‍රකාශ කළේය.