(උපාලි ආනන්ද)

කාවන්තිස්‌ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එමි. කේ.කේ. විජේසුන්දර මහතාට නියෝග කළේය.

කාවන්තිස්ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාලව සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මිගලෑව වනජීවි අඩවි ආරක්ෂක වීරකෝන් මහතාට නියෝග කෙරිණ.

මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහාචාර්යෙ ආර්.ආර්.එමි.කේ.කේ.විජේසුන්දර මහතා අධිකරණයට එවා තිබු කාවන්තිස්‌ස හස්තියාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

කාවන්තිස්‌ස හස්තියා මරණයට පත්වීමේ සිද්ධියට අදාල නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ භාෂා පරිවර්තක යාකුබි ලෙබිබේ මොහොමඩ් ඉර්ෆාන් මහතා විසින් යළි කැදවූ අවස්ථාවේ මහාචාර්ය ආර්.ආර්.එමි.කේ.කේ.විජේසුන්දර මහතා අධිකරණයට එවා තිබූ කාවන්තිස්‌ස හස්තියාගේ අතුරු පශ්චාත් ‍මරණ පරීක්ෂණ වාර්තාව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර මහතා පැවසුවේ මහාචාර්ය වරයාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ ප්‍රශ්ණාර්ථයක් තිබෙන බවයි.

ඊට හේතුව මෙම අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කාවන්තිස්ස හස්තියාගේ මරණයට ශරීරයේ තිබු නිදන් ගත තුවාල තුන බලපා නැති බවද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා උදරයේ දකුණු පස වෙඩි ප්‍රහාර තුනක සලකුනු සහ ඒ තුල මූනිස්සම් තුනක් තිබී ඇති බවත් එහෙත් එම වෙඩි ප්‍රහාර හෝ මූනිස්සම් හේතුවෙන් ශරිරයේ අභ්‍යන්තර අවයවවලට හෝ ඉන්ද්‍රියන්වලට කිසිදු හානියක් සිදුව නැති බවද ප්‍රකාශ කළේය.

වනජීවි ඡායාරූප ශිල්පි පැතුම් බණ්ඩාර මහතාගේ උපදෙස් මත කාවන්තිස්ස හස්තියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ,ජයසූරිය මහතා දීර්ඝව කරුණු දක්වමින් පැවසුවේ කාවන්තිස්ස හස්තියාගේ ශරීරයේ විෂබීජ සහ විෂ තිබු බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු කර ඇති බවයි.

වෙඩි තැබීමි වලින් සහ විවිධ අනතුරු වලින් මෙරට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මිය යන බවද ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා එම තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩිව බලපා ඇති බවද ප්‍රකාශ කළේය