(ජේ.ඒ.එල්.ජයසිංහ සහ තෙල්දෙණිය චන්දන උඩුවාවල)

තෙල්දෙණිය රංගල අධි රක්ෂිතයට ඇතුළු වී  ගෝනුන්,මුවන් සහ මොණරුන් මරා ඔවුන්ගේ මස් කොළඹ සුපිරි හෝටල්වලට සැපයූ දෙහිවල ප්‍රදේශයේ  දෙදෙනකු උණ්ඩ 27ක් සමග අත්අඩංගුවට ගත් බව රංගල පොලිසිය කියයි.

ගෝනමස් කිලෝ 61ක් ගිනි අවි තුනක්, පතුරම්, අධිබල පන්දම් දෙකක් කැබ්රියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත රංගල බර්න්සයිඩ් වතුයායේ බංගලාවක සැඟව සිටියදී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

රංගල අධි රක්ෂිතය තංගප්පුව ප්‍රදේශයේ වනාන්තයේ සැරිසැරූ සද්ධන්ත ගෝනුන් මරා මෙම මස් තොගය රහසිගතව කොළඹ සුපිරි හෝටල්වලට සැපයීම සඳහා සූදානම් කරමින් සිටින බවට පොලිස් බුද්ධි අංශය රංගල පොලිසියට ලබාදුන් තොරතුරු මත මෙම වැටලීම සිදු කළ බව රංගල පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මස් පිණිස මරා දැමිම සම්පූර්ණයෙන්ම තහනම් සත්ත්වකු වන ගෝනුන්, මෙන්ම  මුවන් සහ මොණරුන් මරා ඉතා රහසිගතව කොළඹ තරු හෝටල්වලට දිගු කලක් තිස්සේ සපයා ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය පවසයි.

කොළඹ සිට තෙල්දෙණිය රංගලට කැබ් රථයෙන් ගිනි අවි ද රැගෙන ගොස් මෙම පිරිස කලක් තිස්සේ මෙම ජාවාම කර ඇති අතර පෙරේදා (6) රාත්‍රියේ පැමිණ ගෝනකු මරා බංගලාවේ නතර වී එම මස් ප්‍රවාහනය සූදානම් කර ඇතැයි ද පොලිසිය පවසයි.