(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට පසුගිය ජනවාරි 01වෙනි දින  මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජය රුපියල් 25000ක පුද්ගලික ශරීරයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (05) නියෝග කළේය.

කුරුඳුවත්ත පොලිසිය මගින් ඉදිරිපත් කළ පැමිණිල්ලට නීතිඥවරයකු මාර්ගයෙන් මෝෂමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වූ සංජය මහතා මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණි.

අමාත්‍යවරයාගේ දියණිය කළ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය ගොනු කළ පැමිණිල්ල අනුව නඩුව පවරා පවත්වාගෙන යාමට තරම් කරුණු නොමැති බැවින් සිය සේවා දායකයා නිදහස් කරන ලෙස නීතිඥ රසික සංජීව මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා චමල් සංජීව පැමිණිල්ලේ සැකකරුවකු ලෙස නම්කරු නොමැති බව සඳහන් කළේය.

කුරුඳුවත්ත  පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, චමල් සංජීව සැකකරුවකු ලෙස නම් කිරීමට නියමිත බවත් පැවසීය.පොලිසිය මගින් සැකකරුවකු ලෙස නම් කරන හෙයින්  සැකකරු නිදහස් කිරීම කළ නොහැකි බව දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා පොලිසිය මගින් අදාළ ප්‍රකාශ අධිකරණයේ ගොනුකර නොමැති හෙයින් පුද්ගලික ඇපයක් නියම කිරීමට තීරණය කළේය.

සැකකරු විසින් සපරාදී බිය ගැන්වීමක් අයුතු අවහිර කිරීමක් හෝ නින්දා සහගත අපහාසයක් කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා එලෙස කළ බවට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් පැමිණිල්ලක්ද ලැබී නොමැති බවට සඳහන් කළේය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය,මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත යන පුද්ගලයින් ඇතුළු පිරිසක්  අමාත්‍යවරයාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන   කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .

ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩන් තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම  සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

විභාගය මාර්තු 11වැනි දිනට නියම කෙරිණි.