(අජන්ත රත්නායක)

කහටගහ පතලේ සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සේවකයනට පතල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කරමින් එහි ප්‍රධාන ගේට්ටු ඉබි යතුරු යොදා වසාදැමීමට පාලනාධිකාරිය කටයුතු කිරීමත් සමග එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

උදෑසන සේවයට වාර්තා කිරීමට පැමිණි පතල් කම්කරුවන් තමන්ට සේවයට වාර්තා කිරීමට අවශ්‍ය බව පවසමින් ප්‍රධාන ගේට්ටුව අසල කලහකාරීව හැසිරීම නිසා මෙම උණුසුම් තත්වය ඇති විය.

කහටගහ පතලේ කැණීම්, යාන්ත්‍රික, සැකසීම් හා කාර්යාල යන අංශවල සේවයේ නියුතු සේවක සේවිකාවන් 140 කට ආසන්න පිරිසක් මෙලෙස ප්‍රධාන දොරටුව අසල රැඳී සිටිමින් පාලනාධිකාරියේ තීරණයට විරෝධය පළකළහ.

පතලට පිවිසෙන ප්‍රධාන ගේට්ටු දෙකට ඉබි යතුරු ලා තිබූ අයුරු සහ සේවකයින්ට පතලට ඇතුළුවීම තහනම් කරමින් ගේට්ටුවල අලවා තිබූ දැන්වීමක් ද එහිදී දැකගත හැකිවිය.