(අංජුල මහික වීරරත්න)

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙලේ දී  මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම  පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. 

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ හා සම්බන්ධව සිටින ජනාධිපති කාර්යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු සඳහා පෞද්ගලික  අංශය ද දායක කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. 

මේ වන විට ත්‍රිවිධ හමුදාව ද කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අනුගතව කටයුතු කරන බව  ජනාධිපතිවරයා කියා සිටියේය.

තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන්  රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් එළිදක්වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වන විට තමන් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දුන්නේය.