(ඩයනා උදයංගනී)

ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකම එකවර වැළදුණ රෝගීන්ද හමුවී ඇතැයි කොළඹ  ජාතික රෝහලේ කායික රෝග  විශේෂඥ  වෛද්‍ය  උපුල් දිසානායක  මහතා පැවසීය.

එවැනි රෝගීන් තමා යටතේ ද ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරය සඳහන් කළේය.

වර්තමානයේදී කොවිඩ් රෝගීන්ට වඩා ඩෙංගු රෝගීන් දක්නට ලැබෙන බව කී වෛද්‍යවරයා උණ රෝගී තත්වයක් ඇත්නම් වෛද්‍යවරයකු හමුවීම වැදගත් බව ද කීවේය.

විශේෂඥ  වෛද්‍ය  උපුල් දිසානායක  මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොවිඩ් බූස්ටර් මාත්‍රාවේ සංකූලතා ලෙස ද මාංශ පේශි රිදීම, උණ ගතිය, හිසරදය ආදිය ඇතිවිය හැකි නමුත් තද උණක් හා මාංශ පේශි වේදනාවක් ඇත්නම් එය ඩෙංගු විය හැකි බව කී වෛද්‍යවරයා බූස්ටර් මාත්‍රාවේ සංකූලතා බව සිතමින් ප්‍රතිකාර ලබා නොසිටි ඩෙංගු රෝගීන් අසාධ්‍ය තත්වයට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බව ද පැවසීය.

එබැවින් වෛද්‍යවරයකු වෙත ගොස් තමන්ට ඇත්තේ කොවිඩ්ද, ඩෙංගු ද බූස්ටර් මාත්‍රාවේ සංකූලතාවක්ද යන්න සැකහැර දැනගැනීම සුදුසු බව කී වෛද්‍යවරයා ගඳ සුවඳ නොදැනීම සහ රස නොදැනීම ආදිය හැර කොවිඩ් හා ඩෙංගු රෝග ලක්‍ෂණ සියල්ල එක සමාන බව ද ප්‍රකාශ කළේය.