(දිනේෂ් උපේන්ද්‍ර)

ලොව පුරා කෝටි සංඛ්‍යත රෝගීන් සෙමෙන් සෙමෙන් මරාදමන ඇඳ කුෂ්ට නොහොත් එක්තැන්ව ඇඳේ දිගුකලක් නිසොල්මන්ව සිටියදී ඇතිවෙන තුවාල මගහරවන ක්‍රමවේදයක් ලොව ප්‍රථම වරට කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ සිසුවකු විසින් සොයාගන ඇත.

ඇතැම් විට මරණය පවා සිදුවිය හැකි ලොව වෙසෙන රෝගීහු කෝටි සංඛ්‍යාතව පීඩා විඳින සුලබ රෝගී තත්වයකට එසේ පිළියම් සොයාගෙන තිබුණේ එම විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන චිරාත් ආදිත්‍ය බිම්සර සේනානායක සිසුවායි.

එහිදී මෙට්ට කවරයක ආධාරයෙන් එම යන්ත්‍රය නිපදවා තිබූ අතර පරිගණක දත්ත විශ්ලේෂණ පද්ධතියකින් විශ්ලේෂණයක ඇඳෙහි වැතිර සිටින රෝගියාගේ උණුසුම් ප්‍රදේශ සම්බාහන ක්‍රමයකින් සිසිල් කර එම දද කුෂ්ට ඇතිවීම වළකාලීම මෙම නිර්මාණයේ විශේෂත්වයයි.

එමෙන්ම මෙම නිර්මාණය ජාත්‍යන්තර තරගයකට සූදානම් කරමින් ඇති බවත් විද්‍යාලයේදී එම නිර්මාණය ප්‍රථම වරට මාධ්‍යයට අනාවරණය කරමින් ක්‍රියාත්මක කරවීමේදී විදුහල්පති චමින්ද රන්දෙණි මහතා පැවැසීය.

විදුහල්පති චමින්ද රන්දෙණි මහතා පැවැසූවේ චිරාත් සිසුවාගේ මෙම නිර්මාණය විද්‍යාලයේ පමණක් නොව ලොවම ලැබූ ජයක් බවයි.

ඉලෙක්ට්‍රොනික් දත්ත ලබාගෙන වෙනම ක්‍රමවේදයකින් නැවත රෝගියාට පිළිසරණක්වන ක්‍රියාදාමයක් මේ නිර්මාණය තුළ පවතින බව ප්‍රායෝගිකවම තමන් දුටු බව පවසන විදුහල්පතිවරයා මෙම නිර්මාණය ලොව ප්‍රථම වරට ඉදිරිපත්වූ නිසා ලෝක නව නිර්මාණ තරගයක් වෙනුවෙන් මෙසේ දරුවා ඇමරිකාවේ පැවැත්වෙන තරගයට සුදුසුකම් ලද බව ද පැවැසීය.

සාරානාත් විද්‍යාලය නිරන්තරයෙන් දරුවන්ගේ නව නිර්මාණ අගයන අතර සාරානාත් විද්‍යාලයේ අනුග්‍රහයෙන් චිරාත් සිසුවා ලොස් ඇන්ජලීස් නුවර ලබන මස 11 පැවැත්වෙන ලෝක තරුණ විද්‍යාඥයා තේරීමේ තරගයට ඉදිරිපත්වන බවත් ඉන් ජය ලදහොත් නාසා ආයතනය අලුතින් සොයාගන්නා තාරකා මෙම තරුණ විද්‍යාඥයන් නමින් නම් කරන බවත් පැවැසීය.

මෙම තරගයට යාම සඳහා රුපියල් මිලියනයක් පමණ වැයවෙන බවත් පැවසිය.

මෙ‍ම මෙට්ට කවරය ශරීරයේ කොටස් 6කට බෙදා වෙන්කර වෙනවෙනමම එම කොටස් සඳහා එම සායනික උපකාරය කළහැකි අන්දමින් එම මෙට්ට කවරය නිපදවූ බව චිරාත් ශිෂ්‍යයා පවසයි.

තම නැන්දනිය රෝහලේ සේවය කරමින් ලද අත්දැකීම් හා තම සීයා එම ඇඳ තුවාල මගින් පීඩා විඳීම ආදී හේතු තමන් එවැන්නක් නිපදවීමට පෙළඹවූ බව ද චිරාත් සිසුවා පැවැසීය.

එසේම එකම මෘදුකාංගයකින් වාට්ටුවක පවත්නා ඇඳන් 50ක වුවත් මෙට්ටා මතට යොදවන මෙම ආවරණය මගින් එක් එක් රෝගියාට අවශ්‍ය සම්බාහනය සහිත සිසිල් කරවීම එකම අවස්ථාවක සිදුකළ හැකි අතර ඒ හා සම්බන්ධ දින ගණනාවක් පසුපසට වුවද වාර්තා ලබාගැනීමේ හැකියාව ඇති බව චිරාත් සිසුවා තම නිර්මාණය පිළිබඳව පැවැසීය.

චිරාත් සිසුවා තම නිර්මාණය පිළිබඳව මෙසේ පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවැත්වුණ නව නිපැයුම් තරගාවලියෙදී සෞඛ්‍ය අංශය වෙනුවෙන් මා මේ කළ නිර්මාණය දෙවැනි ස්ථානය දිනාගත්තා. මේ වනවිට මේ නිර්මාණය හරහා අන්තර්ජාතික විද්‍යා හා ඉන්ජිනේරු තාක්‍ෂණ ප්‍රදර්ශනය සඳහා තේරී තිබෙනවා. නදීජ ප්‍රතිභාන, හර්ෂ මඩවල යන කොළඹ තර්ස්ටන් හා නාරම්මල මයුරපාදයෙ සහෝදර සිසුන් දෙදෙනකු සමගින් ඇමෙරිකාවෙ පැවැත්වෙන එම තරගයට සාර්ථකව මූණදෙන්න සූදානමින් ඉන්නෙ. එතැනදී මම ඉදිරිපත් කරන නිර්මාණය වෙන්නෙ මෙට්‍රස් වෙන්ටිලේශන් සිස්ටම් එක. මේක ලෝකෙ ප්‍රථමවරට හොයාගත් බව තහවුරු වුණා.

මම කැමැති ප්‍රදර්ශන භාණ්ඩයක් විදිහට මේ දේ තබා නොගෙන නිෂ්පාදනයක් ලෙසින් හඳුන්වා දීල අඩුම මුදලකින් අපේ මේ සම්බන්ධව පීඩා විඳින අයට පිළිසරණක් වෙන්නයි යැයි ද කීය.