“Cultural සෞභාග්‍යා” සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු අද එක් වූහ.

ශ්‍රී ලාංකේය ප්‍රෞඩත්වය සහ සංස්කෘතික අනන්‍යතාව සුරක්ෂිත කිරීම, විදෙස් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම, අද්විතීය ස්ථාන ප්‍රවර්ධනය සහ සංස්කෘතික උරුම අනාගත පරපුරට පවරාදීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික උරුම ප්‍රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන එක්ව වැඩසටහන සංවිධාන කෙරිණ.

රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික ප්‍රසංගය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී  අද (19) පස්වරුවේ  පැවැත්විණ.

ශ්‍රී ලංකාව දැනට විදේශ රාජ්‍යයන් 48ක් සමග සංස්කෘතික සහයෝගීතා ගිවිසුම් 48ක් අත්සන් තබා තිබේ.

සංස්කෘතික අමාත්‍යාංශයට අයත් ආයතන, මධ්‍යස්ථාන සහ ජනකලා කේන්ද්‍රයේ නර්ථනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ නර්ථනාංග ඉදිරිපත් කළහ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හා රාජ්‍ය අමාත්‍යවරු, තානාපතිවරු, මහ කොමසාරිස්වරු, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.