
(සුජිත් හේවාජුලිගේ සහ ලංකාපුර හෙන්රි ලයනල්)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් ඉදිකර කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑ වැදී ඇති වටිනා ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් තෝම්බුවක් සකස් කිරීමට කටයුතු කරගෙන යන බව පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
අනතුරුව එම ගොඩනැගිලි සම්බන්ධයෙන් අදාල පාර්ශ්ව කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කර ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා නිර්දේශ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා රට පුරා එවැනි ගොඩනැගිලි අදාළ ප්‍රදේශවලට වරින් වර ගොස් නිරීක්ෂණය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
මේ අතර කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කැලෑ වැදී ඇති පොළොන්නරුව නව නගරයේ මහල් පහකින් සමන්විත කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට පරිසර, ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරැම මහතා ඇතුළු එහි නිලධාරීහු කණ්ඩායමක් පෙරේදා (4) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම ව්‍යාපෘතියට වැයකර ඇතැයි පැවසෙන මුදල රුපියල් කෝටි 150කි.
අද එම ගොඩනැගිල්ල වවුලන් ලගින ස්ථානයක් බවට පත්ව ඇතැයි පවසන එම කාරක සභාව ගොඩනැගිල්ල වහාම ප්‍රයෝජනයට ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අදාල රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
උතුරුමැද ආණ්ඩුකාරවරයාගේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැති මෙම හමුවට පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරී කාර්යාලය නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහුද සහභාගීවූහ.
මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉතා ඉක්මනින් රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීමට දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා වහාම ක්‍රියාත්මක වන ලෙසට ආංශික කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
මෙම කාර්යාලීය සංකීර්ණයට අදාළ නිල නිවාස පමණක් භාවිත කර ඇතත් රාජ්‍ය ආයතන පිහිටුවීමට උනන්දුවී නැතැයි කමිටුව කළ විමර්ශනවලදී හෙළිවී ඇත.
COMMENTS
යකෝ මුන් පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙන්නේ ගිය මාසේ වගේ කතාව. පිනා එක්ක අවුරුදු කීයක් පාර්ලිමේන්තුවේ ලැග්ගද මුන් . පුතානෝ එක්ක මුන් ගහපු ගැහිලි අදාලම නෑ වගේ. අර පිනා කතා කරන්නේත් 2022 ජූලි වල දේශපාලනයට ආවා වගේ. එකතුවෙලා රටේ ජනයාගේ ධනය හොරකම් කරලා , දැන් ඒ හොරකම් හොයනවලු.
පොලොන්නරුවේ කාර්යාලය ගොඩනැගිල්ල හදන්න ආරම්භ කෙරුවේ මොවුන් 2015 දී ආණ්ඩු කරන කාලයේදී. කිසිම සැලැස්මක් හෝ අරමුණක් නැතිව රට රවටන්න හා කොමිස් ගහන්න කරන ව්‍යාපෘති නිසා රටට වන හානිවලට වග කියන්න ඕනෑ එවුන්ම නැවත ඒවා ගැන හොයා බලන්න මහන්සි වෙන්න ඕනෑ නැහැ. ඒවා සියල්ලම ඊළඟ ආණ්ඩුව විසින් අරළු බුරුළු ඇතුව හොයා බලයි...
ඉතාමත් ම වටිනා කළයුතුම කටයුත්තක්.. මෙවැනි වැඩ පිළිවලක අවශ්‍යතාවය දකින ලද හා ක්‍රියාත්මක කරන සෑම පිළිබඳව සතුටට කාරණයක්....!
අජිත් සර්ට බැරිද අර ගම්පහ ඔරුතොට පාරේ බැසිල් ලොක්ක හදවපු කාර්යාල සංකීර්ණය වැඩකට යොදවන්න. දන්න විදියට ඒක පෞද්ගලික ඉඩමක හදවල නඩුවක් තිබුණා වගේ මතකයි. ඒ සංකීර්ණය රජයට පවරාගෙන සංවර්ධන හෝ සම්මන්ත්‍රණ කටයුතුවලට කැප කරන්න බැරිද?
ප්‍රයිවට් කම්පැනි වලට දීලා කෑලැ වෙච්චි තේ වතු ගොඩාක් තියෙනවා. ඒ ගැනත් අදාල විෂය භාර නිලධාරින් හොයලා බලන්න...
ඕකට කැලෑ පීරන්න ඕනෑ නෑ. හම්බන්තොට ගිහින් බලන්න. ගුවන් තොටුපළ, වරාය, සම්මන්ත්‍රණ ශාලා වගේ දේවල් ඕන තරම් තියෙනවා. චීනෙන් ණය අරගෙන පිස්සු කරපු පවුලක් හිටියා කියලා මතක නැද්ද?