(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතියේ නලයක් අද (05) යළි පුපුරායාම හේතුවෙන් රෝහල් භූමියේ විශාල ප්‍රදේශයක වැසිකිළි අපද්‍රව්‍ය පැතිරගොස් ඇතැයි රෝහල් සේවකයෝ කියති.
මීට පෙර මෙම නලය සැප්තැම්බර් මස 09 දා දහවල් පුපුරාගොස් රෝහල් භූමිය පුරා සහ කාණු පද්ධතිය පුරා වැසිකිළි අපද්‍රව්‍ය ගොස් තිබිණි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා එදින ලංකාදීප පුවත්පත සමග කියා සිටියේ එම නලය ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත් කළ බවත් එය පුවත්පතක ලිවීමට තරම් වැදගත් කරුණක් නොවන බවයි. නමුත් යළි අද දිනයේ ද එම පල්දෝරු පද්ධතිය පුපුරා ගොස් තිබිණි.
දිනකට දහස් ගණනක් පැමිණෙන කරාපිටිය රෝහලේ මෙලෙස වැසිකිළි අපද්‍රව්‍ය පල්දෝරු පද්ධතියෙන් පිටතට ගලා යාම රෝහලේ රෝගීන් අතර ද විෂබීජ පැතිරයාමට හේතුවක් විය හැකි බව රෝහලේ ප්‍රකාශකයකු කීවේය.
දෙවැනි වතාවටත් පුපුරාගිය මෙම පල්දෝරු පද්ධතිය පිහිටා ඇත්තේ රෝහලේ වාට්ටු වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ය. ඒ අසලම රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකය පිහිටා තිබේ.
මේ පිළිබඳ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ කීවේය.
''මීට කලින් නලය පුපුරාගිය අවස්ථාවේ දී අපි තාවකාලික පිළියමක් යෙදුවා. නැවත පුපුරා ගියා. දැන් එතැනට යකඩ බටයක් දාලා යළි පිළිසකර කරනවා. මේ පල්දෝරු පද්ධතිය අවුරුදු 30ක් විතර පරණයි. දැන් මෙහි ධාරිතාව එයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා මුළු රෝහලේ ම සම්පූර්ණ පල්දෝරු පද්ධතිය ම අලුතෙන් සකස් කරන්න අපි සැළැස්මක් සහිත යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනාව. ඒ සඳහා රුපියල් ලක්ෂ 800ක් වැය වෙනවා. මුදල් ලැබුණු වහාම අපි ඒ නව පද්ධතිය සකස් කරන්න කටයුතු කරනවා."
රෝහල් අධ්‍යක්ෂවරයා යළි කියා රෝහල්වල සිදුවන මෙවැනි දේ පුවත්පත්වල ලිවීමට තරම් වැදගත් කරුණක් නොවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අධ්‍යක්ෂ තුමන් ලා පහල වෙන්නේ ජාතියේ පිනට. මේ පිපුරුණු නලයට වහාම එපිටින් තියෙන්නේ හෘද සහ උරස් ශල්‍ය ඒකකය එක ඇතුලට මේකේ විෂබීජයක් එහෙම ගියොත් වෙන දේ ගැන මෙතුමා ට වෛද්‍ය විද්යාලේදී උගන්නල නැහැ මම හිතන්නේ . ඔතන එළියේ පාරෙවත් යන්න බැහැ . අද වැහි දවසක් තත්වය උග්‍රයි . ඔය ශල්‍යාගාරයේ යම් සිද්දියක් උනොත් මේ උන්නාන්සේ කියයි ඕක පත්තරවල් දමන්න තරම් දෙයක් නොවෙයි කියලා තවත් මෙතැනදී කියන්න ඕන දෙයක් තමයි මේ රෝහල ඇතුලේ බල්ලෝ බළල්ලු පිරිලා සමහර වෙලාවට රෝගීන්ට වැඩිය ඉන්නේ උන් !
මොන පල්දොරුවක්ද අපි දන්නේ නැහැ මුළු පළාතම ඉවරයි
රෝහල ඇතුලේ බල්ලෝ, බළල්ලු පිරිලා සමහර වෙලාවට රෝගීන්ට වැඩිය ඉන්නේ ඒ සත්තු... කාණු සුද්ද කරලා නැහැ. හැම තැනම කුණු...