
හන්දි කරන ලද කුරුඳු තුළ අඟල් පහක් දිග යකඩ ඇණ සඟවා බර වැඩිකර කුරුඳු අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු දෙදෙනකු හක්මන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. අලෙවි කිරීමට රැගෙනවිත් තිබූ කුරුඳු තොගයේ නියමිත බර කිලෝග්‍රෑම් 14ක් වන බවත් කුරුඳුවල සඟවා තිබූ යකඩ ඇණවල බර කිලෝ හතරක් බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. කුරුඳු කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් දෙදහසක් වන බවත් රුපියල් අට දහසක මුදලක් වංචනිකව ගැනීමට සැකකරුවන් උත්සාහ දරා ඇති බවත් අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
ව්‍යාපාරයක අරමුණ ලාභ ලැබීමය. ලාභ නොලබන ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් ලාභය ඉපැයිය යුත්තේ දැහැමි ලෙස හා සාධාරණ ලෙස ව්‍යාපාරය මෙහෙයවීමෙනි. අධාර්මික ලෙස හා අසාධාරණ ලෙස ව්‍යාපාර කිරීමෙන් තාවකාලිකව යම් ලාභයක් ලැබිය හැකි වුවද ඒවා ඵල නොදෙන බව ඒකාන්ත සත්‍යයකි. එබඳු වංචනිකයන්ගේ ආධ්‍යාත්මයෙන්ම ඔවුන්ට එරෙහිව නැගෙන චෝදනාවල බරින් හා වේදනාවෙන් පැසවමින් ජීවත්ව සිට මිය යාමට ඔවුන්ට සිදුවේ. කුරුඳු පොතු අස්සේ යකඩ ඇණ සඟවා බර වැඩිකර විකිණීමට ගිය ජාවාරමුන් දෙදෙනා වුවද ඉහත සත්‍ය අපට පසක් කරවයි.
සීනි ගෝනියට වතුර ගසා බර වැඩිකර විකුණන මුදලාලිලා සිටිති. මිරිස් කුඩුවලට ගඩොල් කුඩු මිශ්‍ර කර විකුණන හා ගම්මිරිස්වලට ගස්ලබු ඇට මිශ්‍ර කර විකුණා ලාභ සොයන ජාවාරම්කාරයෝ ද සිටිති. පොල්තෙල්වලට වතුර මිශ්‍ර කරන්නෝ ද සිටිති. පිළුණු එළවළු විසි නොකර එළවළු රොටි, මාළු පාන් සෑදීමට ගැනීම් ආදී වශයෙන් ආහාරපාන සමග ජාවාරම් කරන්නෝ ද සිටිති. මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ කහ වෙෙළඳාමය. කහ හිඟයක් පවතී. එහෙයින්ම කහ ගිනි ගණන්ය. එනිසාම කහවලට පාන්පිටි මිශ්‍ර කර වෙළෙඳපොළට එවන්නෝ ද සිටිති. බොර දියේ මාළු බාන්නා සේ කලදුටුකල වළ ඉහගන්නා අපතයෝ සිටිති.
මෙයට ටික කලකට ඉහත දී වාර්තා වූයේ ගොරකා සමග ටයර් කෑලි මිශ්‍රකර වෙළෙඳපොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයකු සිටිය බවය. ගොරකා සහ ටයර් කෑලි පෙනුමෙන් සමාන බැවින් කෙනකුට ගොරකා සහ ටයර් කෑලි වෙන්කර හඳුනාගැනීම පහසු නැත. මෙබඳු කූඨ ව්‍යාපාර යනු මෙලොවදීම විපාක ලැබෙන මහා පාපකර්ම බව නිසැකය.
තේ ව්‍යාපාරයට ද මෙබඳු ජාවාරම්කරුවන්ගෙන් එල්ලවන තර්ජනය අති විශාලය. අප රටට විදේශ විනිමය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ගය වනුයේ තේ ව්‍යාපාරය වේ. එමෙන්ම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකා සන්නාමය බවට සිලෝන් ටී පත්ව තිබේ. විදේශීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට මෙම සිලෝන් ටී විශාල බලපෑමකි. එහෙත් ජාවාරම්කරුවන් නිසා ශ්‍රී ලංකා තේ දල්ලට තිබූ කීර්ති නාමයට හානිවී තිබේ.
කසළ තේ ජාවාරම ඉතා ජයටම සිදුවන්නකි. බැහැර කළ යුතු වුව ද කසළ තේ මෙම ජාවාරම්කරුවෝ හොඳ තේ සමග මිශ්‍ර කරති. එසේ මිශ්‍ර කරන කසළ තේ රසායනික ද්‍රව්‍ය යොදා වර්ණ ගන්වන බව ද වාර්තා වේ. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ඉස්තරම් තේ සඳහා ජාත්‍යන්තරය තුළ වන පිළිගැනීම බිඳ වැටීමය. එහි තාර්කික අන්තය වන්නේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ලැබෙන මාර්ගයක් ඇහිරී යාමය.
හඬා බසින මහා ගංගාවක් බවට පත්වන්නේ උල්පතකින් නික්මෙන පුංචි දිය බිඳුවකි. ගිනිදැල්ල කුඩා වුවද එය මහා ගිනි ජාලාවක් බවට පත්වන බව වටහා ගැනීම වැදගත්ය. නයි පැටවා සතුව තිබෙන්නේ ද නයි විෂමය. එහෙයින් පරිස්සම් විය යුතුය. ජාවාරමක් කුඩා වුව ද එය සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ යුතු නොවේ. මහා ජාවාරම් බවට පත්වන්නේ කුඩාවට කරගෙන ආ ජාවාරම් බව ද සිහිකට යුතුය.
මිනිසුන් වෙළෙඳපොළට යන්නේ එය මහා මාෆියා ලෝකයක් යැයි සිතාගෙන නොවේ. ඔවුන් බඩු භාණ්ඩ මිල දී ගන්නේ ද විශ්වාසයෙනි. තමන්ට නරක දෙයක් විකුණන්නට තබා ඇතැයි ජනයා නොසිතති. එහෙයින් වැඩි සොයා බැලීමකින් තොරව බඩු භාණ්ඩ මිල දී ගනිති. එහෙත් දැන් එම තත්ත්වය බෙහෙවින් වෙනස් වී තිබෙන බව ඉතා පැහැදිලිය. පාන් ගෙඩිය මිල දී ගැනීමට පෙර බර කිරා බැලීමට තරමට තත්ත්වය භයානකය.
වෙළෙඳපොළ යනු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ. එහි විවිධාකාර ජාවාරම්කාර ත්‍රස්තවාදියෝ බඩ පිනුම් ගසමින් සිටිති. එම ත්‍රස්තවාදියෝ මහජනයා ගල ග්‍රහණයට ගෙන සිටිති. මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මහා මානුෂික මෙහෙයුමක් නොපමාව ආරම්භ කළ යුතුය.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා අදහස් ඇති ලිපියක්... කරුමය කියන්නේ වගකිවයුතු අංශ මෙවන් දේට අඳ, ගොළු, බිහිරන් සේ මුනිවත රැකීමය. එසේ මුනිවත රැකීම... තව තව වැරැදි සිදුවීමට අනුබල දීමක් බව නොකියා නොහැක්කේය...
රටක නීති අඩුවන තරමට වඩා වේගයෙන් දූෂණ, වංචා, අපරාධ, මංකොල්ල සිදුවෙනවා වැඩියි.
මම රටවල් කිහිපයක ඉඳලා තියෙනවා. හැබැයි ලංකාවේ වගේ සල්ලිවලට කෑදර ඕනෙම තක්කඩි වැඩක් කරන්න ලෑස්ති මිනිස්සු වෙන කොහෙවත් දැකලා නැහැ..
වගකීම් සහිත රැකියාවන්ට හොඳ වේතනයක් ගෙවනවා සේම රාජකාරිය පැහැර හරින අයට උපරිම දඬුවම් දීම නොකරන තාක් මෙය වෙනස්කළ නොහැක.
සුලු මුදලකට ලෝහ අනාවරකයක් ගන්න වැඩේ ඉවරයි.
අපේ රටේ තියෙනවා පාරිභෝගික අධිකාරිය කියලා එකක්. එ්කට බලනවා නම් හොඳ ලිපියක් මේ... මේ වංචා සියල්ල නවත්තන්න පුළුවන් පාරිභෝගික අධිකාරිය තම රාජකාරිය නිසියාකාරව කරනවා නම්...
"..වෙළෙඳපොළ යනු මුදා නොගත් ප්‍රදේශයක් බවට පත්ව තිබේ.." මෙහි සඳහන් කරන " මුදා නොගත් ප්‍රදේශ." කීවිට මට මතක්වෙන්නේ කොටි ත්‍රස්තයන් පාලනය කළ ප්‍රදේශ ගැනයි..." ඒ යුද්දෙ කාලේ වරක් මම නිවාඩුවට ලංකාවට ආ වෙලාවක මඩු පල්ලිය ප්‍රදේශයට යන්න අවස්ථාවක් ලැබුණා. එතකොට ඒ ප්‍රදේශය පාලනය කලේ කොටි. මුරපොලේදී අපි ගෙනිච්ච අරක්කු ඒ ගොල්ලෝ ගත්තා. අරක්කු අවශ්‍ය නම් මඩු ප්‍රදේශයේ කොටිකඩවලින් පාලන මිලට ගන්න කීවා. මම හිතුවේ ඉතිරි වැඩත් ඒ වගේම වෙයි කියලා. නමුත් එහෙම වුනේ නැහැ. හැන්දෑවේ 5 වෙනකොට මාළු කඩේ වහනවා. ඉතිරි මාළු ලාබෙට හරි දීලා දානවා. මස් කඩේත් එහෙමයි. ඉතිරි මස් කූල් රූම්ස්වල දාන්න තහනම්. මස් ඉතුරුනම් ලාබෙට කාට හරි විකුණලා කඩේ හෝදලා වහනවා. පහුවෙනිදා උදේ 10ට විතර අලුත් මස්, මාළු සමග කඩ විවෘත කරනවා. නාන ළිං අසලත් කොටි සාමාජිකයින් හිටියා. වයසක සිංහල අයටත් ඒ ගොල්ලෝ වතුර ඇදලා දුන්නා නාගන්න. නොමිලේ අපිරිසිදු ආහාර කොටි අඩවිවල විකිණීම තහනම් බව මම දෑසින්ම දුටුවා. එහෙනම් මේ අපේම සිංහල මුදලාලිලා නොවේද සිංහල බහුතරයක්ව රවට්ටන්නේ...? ලැජ්ජයි.. මේවා දැනගත්තාම යාපනය පැත්තේ දෙමළ අය අපේ සිංහලකම ගැන මොනවා හිතනවා ඇතිද...?
ඔය වැඩේ කලිනුත් සිද්ද වුණා. සමහරු කැබෙල්ල පොතු අරගෙන කුරුඳු හන්දි කිරීමේදී පාවිච්චි කරනවා. සමහර වෙලාවට කඩෙන් ගේන සමහර කුරුඳුවල මෙලෝ රහක් නැත්තේ ඒකයි...
විජිත්, මඩු පල්ලියට යන ගමන් අරක්කු අරන් ගියේ දෙවියන් සමග පොඩි ෂොට් එකක් දැමීමටද?
ඉතාම හරවත් ලිපියක්. පාරිභෝගික අධිකාරියේ ඇස් ඇරෙන්නට අත හිත දෙන ලිපියක්. මේ පමනක් නොවේ ජනතාව ගසා කන ක්‍රම හා විදි එමටය. ඊයේ පෙරේදා රජය පිලිගත් විශාල වෙලද ආයතනයක් පනිවිඩයක් එවාතිබින. තම ආයතන ශාඛාවකින් රුපියල් 700 ට වැඩියෙන් භණ්ඩ මිලට ගැනීමේදී රුපියල් 100/= ක වට්ටමක් ලැබෙන බවය. එහෙත් එම ශාඛා එවැනි දෙයක් නැති බව කියයි. එක් සන්නාමයක් පෙන්වා ඊට අදාල භාණ්ඩ යම් නිශ්චිත ප්‍රමානක් ගන්නේ නම් එවැනි සැලැස්මක් ඇති බව පැවසීය. මෙවන් කතා කියා ජනතාව නොමග යවා යම් සන්නාමයක් සබද කරගෙන ලාබ ලැබීම අදහස විය යුතුය. ඔවුන් ඇමතීමට දුරකථන අංකයක් දී ඇතත් එය කෙසේවත් සම්බන්ද කර ගත නොහැක .මෙවන් බොරු බේගල් ජනතාව රවටයි.
දිවයිනේ පවතින මාෆියාවන් රාශියකි. ඒවා මැඩලීමට සිටින නිලධාරින්ට අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රමාණවත්ද යන ප්‍රශ්නය විමසිය යුතුව තිබේ. වගකිවයුතු බලධාරීන් හා නිලධාරින් මානවවාදී රාජකාරි කෙතරම් යුක්ති සහගත විදියට ඉටු කරනවාද යන ගැටළුවද විමසීමට බඳුන් විය යුතුයි යන්න මගේ අදහසයි. සාධාරණ අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක නිරතවන ඔබතුමාගේ කතුවැකියට ස්තුති කරමි. රට තුල පවතින වංචා, දූෂණ තුරන් කිරීමේ වගකිව යුත්තන්ට මෙ තේරුම් යනු ඇතැයි විශ්වාස කරමි.