IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කිරි දත් හරි වැදගත්

(කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ  ප්‍රාදේශිය දන්ත ශලය  වෛද්‍ය හර්ෂ මාරසිංහ )

මවුපියන් සිතනුයේ දරුවන්ගේ කිරිදත් තාවකාලික බවත් යම් දිනක වැටෙන නිසා දිරූ පසු ගලවා දැමිය යුතු බවත්ය. ඒ නිසා දරුවන්ගේ කිරිදත් වේදනා ගෙන දුන් පසු ගලවා දැමීම සඳහා දන්ත සායනය වෙත රැගෙන එති. මෙය දරුවන්ගේ මුඛ සෞඛ්‍යයටත් මානසික සෞඛ්‍යයටත් දැඩි සේ බලපාන බව වටහා ගත යුතුය.

කිරිදත් මතුවන්නේ කවදා සිටද ?

කිරිදත් හට ගැනීම ආරම්භ වන්නේ කලළයට (මවු කුසේදී) සති 6 ත් 8 ත් අතර කාලයේදීය. ඒ නිසා දරුවා උපදින විටත් හනුව තුළ කිරිදත් හා ස්ථීර දත් කැකුළු පවතී. ශ‍්‍රී ලාංකික දරුවකුගේ සාමාන්‍යයෙන් කිරිදත් මතුවීම ආරම්භ වන්නේ මාස 5 සිට අවුරුදු 1 අතර කාලයේදී වන අතර වයස අවුරුදු 2 ක් 3 ක් වන විට කිරිදත්  20 ක් මුව තුළ හට ගනී. කිරිදත් මතුවීම ආරම්භ වන්නේ යටි ඇන්දේ ඉදිරි පසිනි. මෙම දත් 20 අනිවාර්යයෙන්ම වැටෙන හෙවත් පතනය වන දත්ය. පළමු ස්ථීර දත හෙවත් හය අවුරුදු දත ආරම්භ වන්නේ මෙම කිරිදත් සියල්ලටම පිටුපසිනි.


කිරිදත් මතුවීම වේදනා සහගතද?

දත් මතුවන ස්ථානය රතුපැහැ ගැන්වීමත් වේදනා සහගත වීමත් සාමාන්‍ය කරුණුය. සමහර විට උණ වැඩි වාර ගණනක් මළපහ පිටවීම නොසන්සුන්තාව හෙවත් ඇඩීම වුවද ඇතිවිය හැක. වෙනත් රෝගාබාධ සමඟද මෙවැනි ලක්ෂණ හට ගත හැකි නිසා අවධානයෙන් සිට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.


දරුවාගේ දත් පිරිසිදු කළ යුත්තේ කවදා සිටද?

දත් සහ මුව පිරිසුදු කිරීමට දත් සියල්ලම හට ගන්නා තෙක් නොසිටිය යුතුය. මුව තුළ දත් නැතත් උපන් දිනයේ සිටම දරුවා නාවන ඇඟ සෝදන විටදී දිව හා විදුරුමස (හනුව) මත එකතු වන මැලියම් පිරිසුදු ජලයෙන් තෙමා ගත් පිරිසිදු රෙදි හෝ පුළුන් කැබැල්ලකින් පිසිය යුතුය. පළමු දත මතු වූ දින සිටම දත් මැදීම ඇරඹීම අවශ්‍යය. දත් මැදීමට දරුවා සතුටින් සිටින අවස්ථාවක් තෝරා ගැනීම වැදගත් සාධකයකි. උදයේත් රාත‍්‍රී නින්දට පෙරත් දත් මැදීම ප‍්‍රතිඵල දායක වනු ඇත.


දරුවන්ගේ දත් මදින්නේ කවුද?

හැකි සෑම විටම මව හෝ පියා විසින් දරුවන්ගේ දත් මැදීම සුදුසුය. මුල් කාලයේදී පිරිසුදු ජලය සමඟ දත් මැදිය යුතුය. කෙසේ වුවද ඇඟිල්ලට දමන දත් බුරුසුවකින් හෝ කුඩා හිසක් ඇති ළමා දත් බුරුසුවකින් ෆ්ලෝරයිඩ් දන්තාලේප ඉතා ස්වල්පයක් පටලයක් ලෙස තවරා දත් මැදීම වඩා යෝග්‍ය වේ. දරුවා දන්තාලේප ගිලීමෙන් වළක්වා ගත යුතු බැවින් දරුවා මුව සේදීමට පුරුදු වනතෙක් සිට දන්තාලේප භාවිතා කිරීම වඩා පහසු වනු ඇත.


දරුවාට තනිවම දත් මැද ගන්න බැරිද?

දරුවා තනිවම දත් මැදීම පුරුදු වන්නේ වයස අවුරුදු 4 ක් පමණ වන විටදීය. එසේ වුවත් වයස අවුරුදු 8 ක් 10 ක් වන තෙක්ම දත් මැදීම සඳහා මවුපිය අධීක්ෂණය අවශ්‍යම වේ. දරුවාගේ දත් මදින විට රිදවන්නේ නැතිව තුරුලූ කරගෙන සෙනෙහසින් දත් මැදීම වැදගත්ය. පවුලේ සියලූ දෙනා එකවර දත් මැදීමෙන් දරුවා දත් මැදීමට පෙළඹවීම පහසු වන අතර එය දිනපතා කළ යුතු දෙයක් බව දරුවා ඉක්මනින්ම වටහා ගනී.


දරුවාගේ දත් මදින්නේ කොහොමද?

කිරිදත් මතු පිට ඇතුළත හා පිට පැත්ත දත් අතර සහ විදුරුමස දාරය බුරුසුව මගින් පිරිසුදු කළ යුතුයි. නිවැරදිව දත් මදින අයුරු දරුවාට පුහුණු කළ යුතු අතර මුහුණ බලන කණ්ණාඩියකින් නිරීක්ෂණය කරමින් දත් මැදීම වඩා සුදුසුය. පිරිසුදු කිරීම අපහසු ඉදිරිපස දත්වල ඇතුල් පැත්ත සහ මුඛයේ කෙළවර දත් කෙරෙහි වැඩි අවධානයකින් යොමු කළ යුතුය.


කිරිදත් දරුවාට වැදගත් වන්නේ ඇයි?

කිරිදත් ස්වභාවධර්මයෙන් ලද දායාදයක් ලෙස සැලකිය යුතුය. කිරිදත් නිසා දරුවන්ට වාසි රැසක් අත්වන බව මවුපියෝ නොදනිති. ඒ නිසා කිරිදත් තාවකාලික හෝ පාවිච්චි කර ඉවත් කරන දෙයක් ලෙස සලකන්නට පුරුදු වී සිටිති. කිරිදත් දරුවන්ට කුඩා කලද ප‍්‍රයෝජන රාශියක් ගෙන දෙයි.

  • ආහාරයේ රස බලමින් භුක්ති විදීමට
  • මනා පෝෂණයට හා ජීර්ණයට උපකාරී වීමට
  • මුහුණේ සාමාන්‍ය පෙනුමට හා මනා පෞරුෂත්වය රැක ගැනීමට
  • සිනහ වීමට සහ සමාජශීලී වීමට
  • බුද්ධි වර්ධනයට හා ක‍්‍රීඩා කුසලතාවට
  • කුඩා කල නිවැරදි ශබ්ද උච්චාරණයට
  •  ස්ථීර දත් මතුවන තුරු ඉඩ තබා ගැනීමට
  •  ස්ථීර දත් මතු වීමට මග පෙන් වීමට
  •  හනුවල මනා වර්ධනයට
  •  ස්ථීර දත් වල නිරෝගී වර්ධනයට

නියමිත කාලයට කලින් කිරිදත් අහිමි වුවහොත්

කිරිදත් ස්ථිර දත් වලට වඩා ශක්තියෙන් අඩු බැවින් පහසුවෙන් දිරා යන අතර කලින් ගලවා දැමීමට සිදු විය හැක. සමහර විට දිරන දත් තදින් සවි වීම නිසා පතනය වීමට කල්ගත විය හැක. කිරි දත් අකලට අහිමි වීමෙන් දරුවන්ට වාසි රැසක් නොලැබී යාම නිසා අනාගත මුඛ සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.

කිරි දත් ගලවා දැමූ විට දෙපස ඇති දත් ඒ දෙසට තල්ලූ වීමත් අනෙක් හනුවේ ඇති දත ඒ හිඩැස දෙසට ඇදී ඒමත් නිසා ස්ථිර දත මතුවීමට බාධා ඇති කරයි. සමහර දරුවන්ගේ පොකුරු දත් නල දත් හට ගැනීම දත් මතු නොවී සිර වී තිබීම වැනි දන්ත විකෘති වලට හේතුව කිරි දත් අකලට අහිමි වීම විය හැක.


දරුවා දන්ත ශල්‍යාගාරය වෙත කැටුව යා යුත්තේ කවදාද?

දන්තාබාධ ඉතා අවමව පවතින දත් කිහිපයක් මතු වී ඇති කාලය දන්ත සායනය වෙත කැටුව යාමට සුදුසු වේලාවකි. එහෙත් දරුවාගේ පළමු උපන් දින තෑග්ග ලෙස දන්ත සායනය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් සංවිධානය කර ගැනීමට පුළුවන. පළමු දිනයේදී මුඛ සෞඛ්‍ය උපදෙස් ලබා ගැනීම දන්ත සායනය නිරීක්ෂණය කිරීම දන්ත ශල්‍ය වෛද්‍යවරයා සමඟ කුළුපග වීම වැනි සුන්දර අත්දැකීම් දරුවාට ලබා දිය හැකිය. පළමු දන්ත සායන අත්දැකීම දතක් ගලවා දැමීම වැනි අමිහිරි දෙයක් බවට පත් කර නොගත යුතුවේ.


එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.

 



අදහස් (0)

කිරි දත් හරි වැදගත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site