පෙරටුගාමී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් නීතිවිරෝධි ලෙස කටයුතු කර ඇති බැවින් මෙරට පුරවැසිභාවය ඉල්ලා සිටීමේ අයිතියක් හෝ පුරවැසිභාවය ලබා දීමේ හැකියාවක් නැතැයි නීතිපති නියෝජිතයා අද (29) අභියාචනාධිකරණයට කරුණු දැන්වීය.

තමන්ට මෙරට පුරවැසිභාවය ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති අයැදුම්පත සලකා බලා තමන්ට පුරවැසිභාවය ප‍්‍රදානය කිරීමට නියෝග කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතා ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට විරෝධය දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවන මහතා මේ බව කියා සිටියේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ අද (29) කැඳවිණි.

එහිදී පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ දේශපාලන කටයුතු වල නිරතව සිටින පෙත්සම්කරු එවකට පැවති වාතාවරණය අනුව විදේශ ගතවූ බවත්, ජීවිතාරක්ෂාව පිණිස වෙනත් නමක් බාවිතා කළ නමුත් පසුව මෙරටට පැමිණි පෙත්සම්කරු මෙරට පුරවැසි භාවය ඉල්ලූ බවද කියා සිටියේය.

ඒ සඳහා ඉදිරිපත් කළ අයදුම්පත සලකා බැලීමට විෂය බාර ඇමතිවරයා කටයුතු නොකිරීම අසාධාරණ බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා සඳහන් කළේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් සහ ව්‍යාජ නම් වලින් විදේශ ගමන් බලපත‍්‍ර භාවිතා කර ඇති බවය.

එසේම නීතිවිරෝධීව මෙරට රැුඳී සිටීමද ඔහු කටයුතු කර ඇති අතර එසේම ඔහුට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුව විභාග කර අවසන් කරන තෙක් ඔහුගේ පුරවැසිභාවය ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත සම්බන්ධයෙන් කටයුතු නොකරන ලෙසද නීතිපති උපදෙස් ලබාදී තිබෙන බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

එබැවින් මෙම පෙත්සම නිෂ්ප‍්‍රභ කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධ ලිඛිත දේශන ලබන මැයි 24 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස දෙපාර්ශවයටම නියම කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගණරත්නම් මහතා විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතා, ආගමන විගමන් පාලක ජනරාල් නිහාල් රණසිංහ, සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිත වලට තර්ජන ඇතිවූයෙන් ආර්.එම්.දයාල් නමින් තමන්  ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව පෙත්සම්කරු කියා සිටී.එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට  ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය ලබා ගත් බවද පෙත්සමේ සඳහන් වේ.

ඉකුත් ජනවාරි 29 වැනිදින තමා  ඕස්ටේ‍්‍රලියානු විදේශ ගමන් බලපත‍්‍රය මඟින් මෙරටට පැමිණි බවත්, පසුව තමන් නීතිවිරෝධිව රැඳී සිටීම චෝදනා මත අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූ බවත් පෙත්සම්කරු කියා සිටී.

පුරවැසි පනතේ 8 වැනි වගන්තිය යටතේ මෙරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළත් ඊට මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණු බවත් එම පෙත්සම මඟින් පෙත්සම්කරු පෙන්වාදේ.මෙම තත්ත්වය ඉතාම අසාධාරණ සහ අයුක්ති සහගත බවද පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, තම ඇයැදුම සලකා බලා තමන්ට මෙරට පුරවැසිභාවය ප‍්‍රදානය කිරීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නුවන් බොපගේ මහතාගේ උපදෙස් මත නීතීඥ සුගත් කල්දේරා සමඟ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරුන් පෙනී සිටියහ.නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.