(ෂේන් සෙනෙවිරත්න)

පොත්තපිටිය මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ පදිංචි යුද හමුදා කමාන්ඩෝ සෙබළකු  නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන ලද මුදලින් මිලදී ගත් බව කියන ලක්ෂ 30 ක් පමණ වටිනා දේපොළ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

එම දේපොළ අතර සුඛෝපභෝගී ආකාරයට නවීකරණය කරන ලද ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රිරෝද රථයක්, ලක්ෂ 20 ක් පමණ වටිනා යතුරුපැදි තුනක් ද තිබෙන බව පොලිසිය කියයි .

එම කමාන්ඩෝ සෙබළා සතු මැණික්දිවල තිරුවානාකන්ද ප්‍රදේශයේ ඇති රුපියල් කෝටි එකහමාරකටත් වඩා වටිනා නිවස සහ භාණ්ඩ උපයා ගත් ආකාරය සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම දේපොළද රාජසන්තක කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි .

එම කමාන්ඩෝ සෙබළා මත්ද්‍රව්‍ය චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහුට එරෙහිව ඉහළ උසාවි වල මත්ද්‍රව්‍ය චෝදනා නඩු ගණනාවක් ඇති බවද පොලිසිය කියයි .