(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේදී  පොලිස් නිලධාරීන්ට පහරදී පැහැරගත් කඳුළු වායු බෝම්බයක් රුපියල් 1000 ක මුදලකට විකිණීමට රැගෙන ආ අරක්කැමියෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි

ඉකුත් 13 වෙනි දින  පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහා  මහජන සාමය කළමණාකරන කොට්ඨාසයේ  නිලධාරීන් ත්‍රිරෝද රථයකින් කඳුළු වායු බෝම්බ සහ උන්ඩ  රැගෙන එමින් සිටියදී  අත්අඩංගුවට ගත් සැකකරු ඇතුළු විශාල පිරිසක් ත්‍රීරෝද  රථයේ ගමන් ගත් නිලධාරීන්ට පහරදී  එම බෝම්බ සහ උණ්ඩ පැහැරගෙන තිබිණි

එහිදී කඳුළු වායු උණ්ඩ සහ බෝම්බ 385   කට ආසන්න සංඛ්‍යාවක්  පැහැරගෙන තිබිණි

එම  අවස්ථාවේදී සැකකාර  අරක්කැමියා  කඳුළු වායු බෝම්බයක්  සොරාගෙන ගොස් ඔහු රැකියාව කරන බත්තරමුල්ල ප්‍රදේශයේ  ආපනශාලාවේ සඟවා තබා තිබිණි

අනතුරුව අද (29) විදුලි බලාගාර හන්දියේ මාලිගාව පාර වත්තට ගොස් ,එය විකුණා ගත නොහැකිව ආපසු පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් දහතුන් වෙනි දින එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් පොලිස්  නිලධාරීන්ට පහර දීම සහ හමුදා කැබ් රථයට පහරදීමට සම්බන්ධ වූවෙකු බවත් පොලිසිය කියයි

වයස අවුරුදු තිහක් වන මාතර ප්‍රදේශයේ පදිංචි අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කුණු භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර සහකාර පොලිස් අධිකාරී  චන්දන ගමගේ මහත්වරුන් ගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා,පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වයි