(නිමන්ති රණසිංහ)

පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශවලට පහරදීමෙන් පසු අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන යනු ලැබූ කඳුළු ගෑස් උණ්ඩ 50ක් සඟවාගෙන සිටියැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 01 වැනිදා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බොරැල්ල ගෝතමීපාරේ තාවකාලිකව පදිංචිව සිටි පොළොන්නරුව කාශ්‍යපපුර පදිංචි පෙදරේරුවෙකි.

මෙම සැකකරු අදාළ කදුලු ගෑස් උණ්ඩ තොගය ඔබේසේකර පුර නානායක්කාර මාවතේ නිවෙසක සඟවා තිබීයදී ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

එම කදුලු ගෑස් උණ්ඩ තොගය මෙම සැකකරු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ට හදුනාගැනීමට අවශ්‍ය බැවින් ඔහු හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.

ඒ අනුව මෙම සැකකරු ලබන 01 වැනිදා හදුනා ගැනීම් පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නීියෝග කළේය.