අවස්ථාවක් ලබාදෙන්නේ නම් කාන්තාවන්ට මෙන්ම ගැහැණු ළමුන්ට ඕනෑම දෙයක් කළ හැකි බව ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්රී ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාල පැවසුවාය.
ලොව ඉහළම තැන සිට ශ‍්‍රී ලංකාවේ ධජය ලෙලවීමට හැකිවීම තමන් කුඩා කළ සිට දුටු සිහිනයක් සැබෑකරගැනීමක් බවද ඇය සඳහන් කළාය.
එවරස්ට් කන්ද තරණය කිරීමේදී අභියෝග රැසකට මුහුණ දෙන්නට සිදු වූ බව කී ජයන්ති එහිදී ශාරීරික අභියෝගවලට වඩා මානසික අභියෝග රැසක් ජයගැනීමට සිදුවූ බවත්, කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීම නිසා සියලු අභියෝග ජයගෙන එවරස්ට් තරණය කිරීමට හැකිවූ බවත් පැවසුවාය.
ජයන්ති කුරුඋතුම්පාල මේ බව පැවසුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
කඳු මුදුනට ළඟා වූ පළමු ශ්රී ලාංකිකයා වීම ගැන කාන්තාවක වශයෙන් මා අතිශයින් ම ආඩම්බරවන අතර එය මට ගෞරවයක් බව ද ඇය කීවාය.
මෙම ගමන අතරතුර ආහාර හා ජලය ලබාගැනීම, ඔක්සිජන් වායු ටැංකි සමග විශාල මල්ලක් එල්ලා ගනිමින් ගමන් කිරීම, ඔක්සිජන් ටැංකියට සම්බන්ධ වී නිදා ගන්නට සිදුවීම, වැසිකිලි පහසුකම් ලබාගැනීම, කුම්බු අයිස් ඇල්ල හා කුම්බු පාලම තරණය කිරීම ආදී කටයුතු සියල්ල අසීරු වූ බවද ඇය පැවසුවාය.
ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් යන කඳුනගින්නන් දෙපළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවරස්ට් කන්ද තරණය කිරීමට එක්වූ අතර අප්‍රේල් මාසයේදී කන්ද නැගීම ඇරඹූ කණ්ඩායමේ සිටි ජයන්ති අඩි 29,029ක් තරණය කරමින් මැයි මස 21 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 5.00 ට පමණ ශ්‍රී ලංකා ධජය කඳු මුදුනේ එසැවූවාය.
ඇය සමග එම උත්සාහයේ ම යෙදුනු යොහාන් පීරිස්, එදින අඩි 27,559 ක උසක් සාර්ථක ලෙස තරණය කළේය. මේ අනුව ජයන්ති සහ යොහාන්, වැඩිම උස ප‍්‍රමාණයක් තරණය කළ පළමු හා එකම ශ‍්‍රී ලාංකිකයින් දෙපළ බවට පත්වූහ.
මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් යොහාන් පීරිස් මහතා පැවසුවේ, අසීරු සිහිනයක් පිළිබඳ සිහින දැකීම ඉතා පහසු කාර්යයක් වුවත්, සිහිනයේ රැඳී සිටිමින් එය සැබෑකරගැනීමට හැකිවීම සැබෑ ජයග‍්‍රහණයක් බවයි.
එවරස්ට් කඳු මුදුනටම නැගීමට තමන්ට නොහැකි වුවත් එහි බොහෝ දුරක් තරණය කරන්නට ලැබීම ගැන සතුටු වන බව ද ඔහු කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ලංකාවේ කියමනක් තිබුනේ හිත ඇත්නම් පත කුඩාද කියල. ඒ වගේම උත්සහවන්තයා ජය ගනී කියල. ලංකාවේ ගොඩක් කාන්තාවන් ඉස්සරහට ඇවිල්ල ඉදිරිපත්වෙලා වැඩ කරන්න පැකිලෙනවා. හරියට කරන අය සාර්ථක වෙනවා (රේ)
ආලෝක වර්ෂ කියන්නේ දුර මනින ඒකකයක් මිස කාලය මනින ඒකකයක් නොවේ. (කෞ)
කන්ද මුදුනට ගියේත් ගැහැණු කෙනෙක්. නමුත් හැමතැනම හැමදේකදීම මුල්තැන ඉන්නවා පෙනෙන්නේ පිරිමි අය (නි)
මෙවන් කාන්තාවන් සැමටම ආදර්ශයක් (නි)
මොනවා කළත් ගැහැණියෙකුට තැනක් ගන්න මේ ලෝකෙම ඉඩක් නැහැ. තව ආලෝක වර්ෂ කෝටියක් පෙරුම්පිරුවත් ගැහැණියෙකුට තැනකට එන්න ඉඩදෙන්නේ නැහැ (නි)
කාන්තාවන්ට පුළුවන් එවරස්ට් යන්න. අපේ මන්ත්‍රීලට බැහැ බස් එකේ යන්න. ලක්ෂ දෙතුන් සීයේ බදු නැති වාහන ඕනෑ. (නි)
මොනා වුණත් මෙම වීර ක්‍රියාව ඇගයිය යුතුයි. නමුත් කාන්තාවන්ට ඕනෑම දෙයක් කළ හැකියි කියන කියමනට මම එකඟවෙන්නේ නැහැ. කාන්තාව සම තැන නොව නිසි තැන ලබා ගැනීමට උත්සාහ කළයුතුයි. (නි)
ඔබට අපගේ ප්‍රණාමය. (ර)
´කාන්තාව ඕනෑම තැනක මුල් තැන ගන්නවා. වැඩිය ඇතට යන්න ඕන නැහැ. බලන්න අපේ ගෘහණිය දරුපවුල රැකගෙන කටයුතු කරන හැටි. පියවරුන්ගෙන් වැඩි හරියක් කරන්නේ අම්මගෙන් අහන්න කියල මග හැරීම.(කෞ)
ඒ මහත්මිය එවරස්ට් මුදුනටම ගියා කියල ඔප්පු කරන්න පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කලාද? ටීවී එකේ පෙන්නපු වැඩ සටහනේදි එහෙම එකක් දැක්කෙ නැහැ. (කෞ)
එයාගේ කතාව කොහොම වුණත් වීර ක්‍රියාවක් කරලා තියෙන්නේ.....සුබ පැතුම් !!!!! (ම)
ඔබ තුමිය දිරිය කතක් ,එහෙත් ඔබේ ප්‍රකාශය වැරදියි කාන්තාවකට කල නොහැකි දේවලුත් තිබෙනවා. (රේ)