(නාමිණි විජේදාස සන්ඩෙ ටයිම්ස්)

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්දි ලෙස රුපියල් කෝටි 230ක්) එම කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලනු ලැබි ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් කොන්ත්‍රාත් 22 ක් සඳහා වන්දි දෙන ලෙස ඉල්ලමින් අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරියේදී නඩු ගොනු කිරීමට ඉඩ තිබෙන බවත් ව්‍යාපෘති 37 ක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී කිසිඳු ප්‍රගතියක් ලබා නොමැති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වර්තාවක දැක්වේ.

එම ව්‍යාපෘති 37 අතර විදේශ රටවල් මූල්‍ය සහාය ලබාදීම නතර කළ ව්‍යාපෘති 17 ක් තිබෙන බව ද ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන්වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් තවත් ව්‍යාපෘති 41 ක ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදවීම් වාර්තා වන බවත් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් සියයට 20 කට මෙම ගැටලුව බලපා තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම ගැටලුව නැවත නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය අලුත් කරන විට ඔවුන්ගේ කාර්ය සාධනය සළකා බැලීම වැදගත් බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.