IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ ප්‍රහාරය පිළිබඳ සැඟවුණු තොරතුරු හෙළිදරව් වේද යන බිය නිසාදැයි සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

වත්මන් රජය හිටපු ජනාධිපතිතුමන් ආරක්ෂා කරන්නේ රජයට සම්බන්ධ උසස් අය හරහා පාස්කු ප්‍රහාරයට තමන්ගේ ඇති සම්බන්ධයක් හෙළිදරව් විය හැකිය යන බිය නිසාදැයි යන්න ගැන රටේ පොදු ජනතාව හා තමන් තුළ සැකයක් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි සේවා අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් නිලධාරීන් බොහෝ දෙනෙකුට එරෙහිව නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම කර ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම හා ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කර ඇති හෙළිදරව් ගැන කිසිඳු විමර්ශනයක් නොකිරීම සියල්ල රතු පලස යට සඟවා සත්‍ය වසන් කිරීමේ බොළඳ උත්සාහයක් බව ද කොළඹ අගරදගුරුතුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තෙවර්ෂ පූර්ණය වෙනුවෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී  අද (21) පෙරවරුවේ පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය රජය සමයේ හිටපු පොලිස්පතිවරයාට හා ආරක්‍ෂක ලේකම්වරයාට පැවරූ නඩුවේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස ප්‍රහාරයේ බරපතල චෝදනා ලැබූ නිලන්ත ජයවර්ධන මහතා යොදාගැනීමෙන් හා උසාවිය ඉදිරියේ නිසි ලෙස නඩු කටයුතු මෙහෙයවීම නොකිරීමෙන් උසාවිය අසරණ කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ කාගේ උවමනාවකට දැයි යන්න ගැන පැනයක් තිබෙන බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.

ප්‍රහාරය සිදුවූ පසු එය දැන සිටි බවට ප්‍රසිද්ධියේ පිළිගත් හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ හිටපු පොලිස්පතිවරයා නිදොස් කොට නිදහස් කිරීම නීතිපති දෙපාර්තමේන්තුව හා රජය විසින් ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූ අයට කළ අපහාසයක බව ද අගරදගුරුතුමෝ පැවසූහ.

නීතිපති දෙපාර්තමේන්තුව නීතියේ උත්තරීතරත්වය කෙලෙසන්නට කටයුතු කිරීම නින්දා සහගත බව කී කාදිනල්තුමෝ මේ ක්‍රියාදායම පිටුපස සිටින්නේ මේ රටේ සියලු බලතල තමන් අතට ගෙන ඇති සුපිරි බලවතා නොවේදැයි සැකයක් මතුවන බව ද සඳහන් කළහ.

ඇතැම් පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණ කරන ලෙස ජනාධිපති කොමිසම කළ නිර්දේශ තිබියදී ඔවුන්ට උසස්වීම් ලබාදෙන්නට ක්‍රියා කළ වත්මන් පොලිස්පතිවරයා ද පාස්කු ප්‍රහාරයෙන් මියගිය අහිංසකයන්ගේ රුධිරයට වගකිව යුතු බව කී කාදිනල්තුමෝ ඔහුට එයින් ගැළවීයාමට සද්ධර්මය ඉඩ නොදෙනු ඇතැයි ද කීහ.

සහරාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබාගත් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හිටපු ජනාධිපතිවරයා හා වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බවට අත්අඩංගුවට ගැනීමෙන් සිදුවූයේ සහරාන් සැලසුම් කළ ප්‍රහාරය ඉදිරියට ගෙනයාමට පාර කැපීමක් බව කී කාදිනල්තුමෝ නාලක ද සිල්වා මහතාට එල්ල වූ චෝදනා කොතරම් දුරට විමර්ශනය විණි ද යන්න පැහැදිලි නැතැයි ද පැවසූහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වනාතවිල්ලුව ආයුධ ගබඩාව ගැන ආරක්ෂක මණ්ඩලයෙන් විමසීමක් නොකළ බව හා සහරාන් අත්අඩංගුවට ගන්නා ලෙස කළ ඉල්ලීම් හමුවේ ‘එහා මෙහා යන නයි රෙද්ද අස්සෙ දා ගන්න එපා’ පැවසූ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තා වේ සඳහන්ව ඇතැයි ද අගරදගුරුතුමෝ කියා සිටියහ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී මොරදුන් වත්මන් පාලකයා බලයට පත්වූ පසු ඒ පොරොන්දු පසෙක ලා ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්‍ෂේප කරමින් හෙළා දකින බව කී කාදිනල්තුමෝ මෙම අපරාධය කළ අයට වැඩිකල් නොයා තමන් කළ පාපයේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවනු ඇතැයි ද සඳහන් කළහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 



අදහස් (0)

කාදිනල්තුමෝ පාස්කු ප්‍රහාරය ගැන සැර ප්‍රකාශයක් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 649 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site