(සුජිත් හේවාජුලිගේ )

කතානායක වෛද්‍ය ජගත්   වික්‍රමරත්න  මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු  න්‍යාය පුස්තකයෙන්  ඉවත් කිරීමට තීරණය කර ඇත.

එම යෝජනාවේ අධිකරණ නඩු තීන්දු වලට බලපාන කාරණා අඩංගු වන හෙයින් යෝජනාව සංශෝධනය කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ මතයයි. යෝජනාව න්‍යාය  පුස්තකයෙන් ඉවත් කෙරෙන්නේ ඒ අනුවය.

එහෙත් විපක්ෂය පවසන්නේ යෝජනාවේ අධිකරණ නඩු කටයුතු වලට බලපාන  එවැනි කරුණු අඩංගු නොවන බවයි.

විශ්වාසභංග යෝජනාවේ නඩු කටයුතු වලට බලපාන කාරණා තිබේදැයි දැනගැනීමට එය නීතිපතිවරයාට යොමු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තීරණය කළේය.

කෙසේ වෙතත්  යෝජනාව නීතිපතිවරයාට  තවමත් යොමු කර නැතැයි වාර්තාවේ.

ආණ්ඩු පක්ෂයේ බලාපොරොත්තු වන්නේ විපක්ෂය යෝජනාව නැවත සකස් කර බාරදෙනු ඇති බවයි.

එහෙත් විපක්ෂය යෝජනාව නැවත සකස් කර බාර දීමට සූදානමක් නොමැති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අධිකරණ නඩු කටයුතු වලට අදාල කාරණා ඉවත් කර යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් නොකළේ මන්දැයි ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයටද චෝදනා එල්ල කර ඇතැයි වාර්තාවේ.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ලේකම් මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ අධිකරණ නඩු කටයුතු වලට බාධාවන කාරණා එම යෝජනාවේ නොමැති බවයි.

කෙසේ වෙතත් මෙම මත ගැටුම් හේතුවෙන් යෝජනාව විවාදයට ගැනීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු පහළව ඇත.

පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ විශ්වාසභංග  යෝජනාව වහා විවාදයට ගත යුතු බවයි.

කතානායකවරයාට එරෙහි බරපතළ චෝදනා පනහක් ඊට ඇතුළත් වන හෙයින් ඉන්  පැන යාමට කිසිවකුටත් නොහැකි බව ඔහු සඳහන් කළේය.

මේ අතර කතානායකවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති දූෂණ චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ  දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් කරගෙන යයි.