(ඒ. ඒ. පේමසිරි)

රුහුණු කතරගම මහා දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර ඇති කර ගන්නා ලද ගැටුමක ප්‍රතිපලයක් ලෙස රත්නායක පරපුරේ උපුල් රත්නායක කපු මහතාට දේවාලයේ දී පහර දුන්නේයැයි කියන ආරාපක්ෂ පරපුරේ ගයාන් ආරාපක්ෂ කපු මහතා තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමිර සිල්වා මහතා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි නියෝග කළේය.

පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් මෙම කපු පරපුරු දෙක කලක පටන් පැවැති ගැටුමක ආසන්‍න ගැටුම ලෙස දේවාලයේ දී පෙරේදා 30 වැනිදා පස්වරුවෙහි මෙම ගැටුම ඇතිව තිබූ බව අධිකරණයේදී කියැවිණි.

එහිදී මෙම මාසය භාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක මහතා ප‍්‍රතිකාර සදහා කතරගම රෝහලට ඇතුළත් වී සිටින අතර ඔහු කතරගම පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.