(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් දින තුනක විවාදයක් ලබාදීමට එකඟ නොවීම නිසා ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට දිගටම විරෝධය  පළ කරන බව  විපක්ෂයේ පක්ෂ නායකයෝ  පක්ෂ නායක රැස්වීමේදී   අද  (11) දැනුම් දුන්හ.

ජනාධිපතිවරයා රාජාසන කතාව  පැවැත්වීමට පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ  සිටින  අවස්ථාවේදීත්  කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්න මතු කරමින්  එසේ විරෝධය පළ  කිරීමට හැකියාව  ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමක්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (11) දහවල් පැවැත්විණ.

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගර්භයේදී ලබන 18 වැනිදා  සිදුකිරීමට නියමිත රාජාසන කතාව සම්බන්ධයෙන්  ලබන 19 වැනිදා සහ 20  වෙනිදා පස්වරුවේ වරුව බැගින් වරු දෙකක දෙකක විවාදයක් ලබාදෙන්න බව කතානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මෙහිදී අදහස්  දැක්වූ  විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඇතුළු විපක්ෂයේ නායකයන් ප්‍රකාශ කළේ  කල්තැබීමේ විවාදය සඳහා එම වරු දෙකක කාලය ප්‍රමාණවත් නැති බවයි.

සම්පූර්ණ දින තුනක් හෝ දින දෙකක්  එම විවාදය සඳහා ලබා දෙන්නැයිද  ඔවුහු ඉල්ලා සිටියහ. එහෙත් සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු විපක්ෂයේ එම  ඉල්ලීමට එකඟ නොවූහ.

ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න හතළිහක් පනහක් පමණ ගොඩ ගැසී ඇති අවස්ථාවක ඒවා ගැන කතා කිරීමට විපක්ෂය ඉල්ලූ දින තුනක විවාදය ලබා දීමට වෙනුවට  වරු දෙකක  විවාදයක් ලබාදීම  අනුමත නොකරන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ පවසති.

මේ අතර  පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරක්(18,19,20 සහ 21) රැස්වීමටද  පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඊයේ තීරණය කර ඇත.