(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ ප්‍රශ්නය විසඳීම සඳහා මවුබිමේ නාමයෙන් සහය ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පක්ෂ නායකයන් ඇතුළු  මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් පාර්ලිමේන්තුවේදී   අද (19) පෙරවරුවේ ඉල්ලීමක් කළේය.

රටේ  අර්බුදයට   කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසදුම් සෙවීමට පාර්ලිමේන්තුවේදී පසුගියදා  පැවැත්වූ විවාදයෙන් සාධනීය විසඳුමක් කරා එළැඹීමට නොහැකිවූ බව කනගාටුවෙන්  පවසන්නේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ ද සඳහන් කළේය.

ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට යටත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඊට අදාළ නීති සංශෝධනය කිරීම, විගණකාධිපතිවරයාට දේශපාලන පක්ෂ විගණනය කිරීමට හැකිවන පරිදි අදාළ සංශෝධන සිදුකිරීම, රාජ්‍ය කොන්ත්‍රාත්  සඳහා ලංසු කැඳවීමකින් තොරව භාණ්ඩ හා සේවා ලබා ගැනීම තහනම් කිරීම සහ රජයේ කොන්ත්‍රාත් කටයුතු වලදී විනිවිද භාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම, දේශපාලනඥයන් සහ  ඔවුන්ගේ ඥාතීන් හෝ රාජ්‍ය සේවකයන් විසින් අනීතිකව උපයන ලද විදේශ බැංකු හෝ මූල්‍ය ආයතනයන්හි තැන්පත් කර ඇති බවට හෙළි වන වත්කම් රජයට පවරා ගත හැකි වන පරිදි අදාළ අණ පනත් සංශෝධනය කිරීම, ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට හෝ ජනාධිපති ධුරයට තෝරාපත් කරගනු ලැබීම නුසුදුසු බවට අවශ්‍ය නීති සම්පාදනය කිරීම  යනාදී  යෝජනා රැසක් මීට සාකච්ඡා වූ බව මෙම සභාවේ අවධානයට යොමු කරනවා.  

ඒ අනුව රට තුළ දැනට පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමේ යම්කිසි පරිශ්‍රමයක් වශයෙන් මහ ජනතාව අපේක්ෂා කරන යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන විනිවිදභාවයෙන් යුතු, දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලන තන්ත්‍රයක් ඇති කිරීමේ අවංක අරමුණ පෙරදැරි කරගෙන මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සෘජු මැදිහත්වීම මත ඉදිරි කටයුතු කඩිනමින් සිදු කිරීම සඳහා මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන් ඇතුළු සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සක්‍රීය දායකත්වය සහ උපරිම සහයෝගය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපගේ මාතෘභූමියේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය කටයුතු මෙතැන් පටන් සිදුකිරීමට වගබලා ගන්නා මෙන් ව්‍යවස්ථාදායකයේ කථානායවරයා වශයෙන් මම ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.