(නිමන්ති රණසිංහ)

ට්‍රිපොලි බුද්ධි අනු කණ්ඩය පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා දැනුවත්ව සිටි බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(5) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදුන්නැයි කියන සිද්ධයට අදාළ නඩුව අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ එම කරුණු ඉදිරිපත් කෙරිණි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධ ප්‍රකාශයක් ලබාදීමට පසුගිය 2 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ බවත් එහිදී පැමිණිලිකරුවන් පවසන අන්දමට සිද්ධියවූ අවස්ථාවේ තමාට දුරකථනයෙන් දැනුම් දුන් බව ප්‍රතික්ෂේප කරන බව ඔහු පැවසූ බවත් රහස් පොලිසිය අධිකරණයට පැවසීය.
සැකකරුවන් ජූනි 14 තෙක් යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය නියෝග කළේය.