
(කාංචන කුමාර ආරියදාස )
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කර දමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති.
අද(09) ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබදව පැමිණිල්ලක් ද කළ බව ගොවි සංවිධාන සාමාජිකයෝ පැවසූහ.
මහවැලි අධිකාරිය මගින් මීට පෙර තහනම් කර තිබූ සංචාරක හෝටලයක් නැවත ඉදිකරමින් පවතින බවත් එහෙම හෝටලයට සුන්දර කණ්ඩලම වැව දර්ශනය වීම සඳහා අක්කර ගණනාවක් සම්පූර්ණයෙන්ම ගස් වැල් කපා විනාශ කොට වැව් රක්ෂිතයේ තිබූ ඉපැරණි කළු ගල් සම්පූර්ණයෙන්ම යන්ත්‍ර සූත්‍ර දමා ගලවා ඇති බවද ඔවුහු චෝදනා කරති.
එම ගැලවූ ගල් හෝටලයේ විවිධ ඉදිකිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවද කණ්ඩලම ජලාශ වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති කේ .ජී. රංජිත් උපුල් කුමාර මහතා චෝදනා කළේය.
ගොවි සංවිධානයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අද (9) පස්වරුවේ කණ්ඩලම වැව් ඉස්මත්තට යනවිට දැකගැනීමට හැකි වූයේ එහි තිබූ වසර දහස් ගණනාවක් සිට පැවැති ගස් වැල් සියල්ල බිමට සමතලා කොට ගිනි තැබීම සඳහා සූදානම් කර තිබෙන අයුරුයි.
වසර සිය දහස් ගණනාවක් පැරැණි කුඹුක්, නබඩ ,බුරුත, ආදී ගස් හා ඉතා පැරණි මහා විශාල වැල් ගිනි තැබීමට ඇද දමා තිබේ.
එමෙන්ම සුන්දර කණ්ඩලම ජලාශයේ ඉතාම සුන්දරම වන වියන සහ වසර ගණනාවක් පැවැති මහා විශාල වැල් වර්ග රැසකින් තුරු වියනක් ලෙස අලංකාරව තිබුණු බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
ගොවි සංවිධානයෙන් මෙම සංචාරක හෝටලයේ ඉදිකිරීම් කරන පිරිසකගෙන් මේ පිළිබඳව විමසීමේදී ඉහළ නිලධාරීන්ගේ ලැබුණු නියෝගයක් පරිදි මෙම වැඩකටයුතු සිදුකළ බවට ඔවුන් පුරසාරම් දොඩන බව ගොවි සංවිධානය පවසයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැව ඉස්මත්ත වැව්රක්ෂිතය මායිම් කොට සලකුණු කර තිබියදී එම සලකුණු කරනු ලැබූ මායිම් ගල් පවා ගලවා සංචාරක හෝටලේ ඉදිකිරීම් වලට මදක් දුරින් නැවත සිටුවා මෙම මහවැලී වැව් රක්ෂිතයේ ඉදිකිරීම් කරන බවද ඔවුහු චෝදනා කළහ.
අතීතයේ සිට මෙම ස්ථානයේ ගල්තලාවක නිධානයක් ලබා ගැනීම සඳහා සූදානමක් තිබුණු බවත් ඒ අනුව යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එම බිම් කඩේ ඇති ගල් සියල්ල කඩා සංචාරක හෝටලයේ ඉදිකිරීම් වලට ලබා ගැනීම සිදුකරන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳව බෝවතැන්න ජලාශ භාරයේ ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට මේ පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ජලාශ භාර නියුජිතයා දඹුල්ල පොලිසියට යවා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බවය, වහාම තමන් හෙට( 10) උදෑසන විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට එවන බවද ඒ මහතා සඳහන් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ලංකාවේ හොරාකන විදිය . AKD ජනපතිතුමනි .පිහිට වන්න
කෝ හලෝ අනාගත කෘෂිකර්ම ඇමති කරුණාරත්න ගොයිය මොකද කරන්නෙ බලන්න
මා පාසැල් යන සමයේ තමයි එයිට්නන්ස්පේස් කන්ඩලම හෝටලය ඉදිකරන්න පටන් ගත්තේ. අපි විරැද්ද වුනේ ඔය වැඩේ ඔතනින් නවතින්නේ නැතිබව දැනගෙන. එයාලා මොන පරිසර සම්මාන ගත්තත් වෙන වින්නැහි නවත්තන්න බෑ... දැන් අර කුම්බලා මාලු කාපු කතාව තමයි මතක් වෙන්නේ
මොවුන්ට වැවක් ඇලක්, දොළක් ඕනෑ නම් ළඟපාත වෙන කොහේ හරි ඉඩමක් අරන් වැවක්, ඇලක් දොළක් අලුතෙන් හදලා හෝටලේ ගහ ගත්තාම මොකද? කොළඹ හෝටල් වල වැව්, ඇල, දොල තියෙනවා කියලා යෑ.
ආණ්ඩු මාරුව අස්සේ නිලධාරින් ගේම ගහන බවක් තමයි පෙනෙන්නේ.., මේ වැරැද්ද නවත්වන්න වහාම ජනාධිපතිතුමා මැදිහත් විය යුතුයි.
මොවුන්ව අල්ලලා එල්ලන්න…
ධර්මයක් ජීවිතේට ඕන කියන්නේ ඕක තමා. ආත්මාර්ථකාමී කමින් මේ දේවල් කරන්නේ තමන්ගේ වැඩේ කොහොමද සාර්ථක කරගන්නේ කියන එක විතරයි බලන්නේ. සමහර වෙලාවට පොඩි කාලෙදිම පරාර්ථකාමී කම හැලෙනවා. ඊටපස්සේ ටික ටික පෝලිමකවත් යන්න දන්නේ නැති මිනිස්සු හැදෙනවා. අනෙක් මිනිහා වට්ටලා තමන් කොහොමද මුල්තැන ගන්නේ කියන එක ප්‍රගුණ කරගන්නවා. මේ වෙන රටක ඒවා නෙවෙයි කියන්නේ. මේ අපේ රට ලංකාවේ වෙන දේවල් කියන්නේ. වාහන පෝලිමක යන්න දන්නේ නෑ. වාහන කීපයක් ඉස්සර කරලා ගිහින් අස්සකින් රිංගන්න හදනවා. මේ සිද්දියත් ඔයවගේම ආත්මාර්ථකාමී මිනිසුන් කොට්ටාශයක් තමයි කරන්න ඇත්තේ කියලා හිතන්න පුළුවන්. වැවක් කියන්නේ පොදු තැනක්. මිනිසුනේ එක එකා හැදියල්ලා, නැත්නම් රටක් හදන්නේ කොහොමැයි?
මොන ආණ්ඩුව ආවත් ඕවා නවත්තන්න බෑ. එන හැම ආණ්ඩුවක්ම ජාවාරම් කාරයෝ පගාව දීලා අල්ලනවා..!
මෙවැනි මිනිසුන්ට දඬුවම් නෑ අපේ රටේ. ඔවුන් බය නෑ. සොබාදහම විනාශ කරනවා. බලමු වර්තමාන රජය මොනවාද කරන්නේ කියලා...!
මැදිහත් වීම සහ විරුද්ධව නැගී සිටීම අගය කළ යුතුයි. ඒත් මේ සියල්ල එක් දිනක සිදුවුණු දේවල් වෙන්න බැහැ නේද?
පරිසර විනාශය තාමත් එහෙමයි...