ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට සහාය දිය යුතු යැයි ද කඩිනමින් මූල්‍ය සහාය සැපයිය යුතු යැයි ද ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය පවසා ඇත.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සාකච්ඡාවක් වොෂින්ටන් නුවරදී ඊයේ (18) පැවැත්විණි.

ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වයට ඉන්දියාව ලබාදෙන සහාය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇත.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත සම සාකච්ඡා සඳුදා (18) ආරම්භ විය.

ඊට සමගාමීව ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය අතර සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ දී මෙම සාකච්ඡා පැවැත්වේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඉන්දියාවේ ඉහළ පෙළේ ආර්ථික විද්වත්හු දෙනෙක් ද මෙම රැස්වීමට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට ශීඝ්‍ර මූල්‍ය පහසුකමක් (ආර්.එෆ්.අයි. – RFI) ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කරුණු ඉදිරිපත් කරන බව ඉන්දියාව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතාට පවසා ඇත. 

(055-034)