(මනෝප‍්‍රිය ගුණසේකර)

වසර 24කට පෙර හෙරොයින් කිලෝ 06 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවන් සිව්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය.

වැටලීම කළ පොලිස් නිලධාරීන්, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතාගේ හරස් ප‍්‍රශ්න හමුවේ විටින් විට විවිධ ස්ථාවරයන් ගැනීම තුළින් පැමිණිල්ලේ සාක්කි එකිනෙකට පරස්පර වී ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි තීන්දු කරමින් විත්තිකරුවන් සිව්දෙනාම නිදොස් කොට නිදහස් කළේය.

මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ ඩිලාන් මේරී ඇනන් රණවීර, ලෙස්ලි ඇන්ටන් අමරසිංහ, ඇන්ටන් බර්නාඞ් ප‍්‍රනාන්දු (මියගොස්) සහ අබ්දුල් අසීස් තම්සීර් මොහිදීන් නමැත්තන්ය.

1997 ජනවාරී මස පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක හෙරොයින් කිලෝග්‍රෑම් 6.826ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.