හර්ෂණ තුෂාර සිල්වා

කටාර් රියාල් බාර නොගන්නා ලෙසට කිසිදු බැංකුවට දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කටාර් රියාල් බාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අනෙකුත් බැංකුවලට  දැනුම් දී නැති බව ද මහ බැංකුව නිකුත් කළ වාර්තා වේ දැක්වෙන අතර ඒ සම්බන්ධයෙන් පළවන පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද කියයි.

සෞදිය ප්‍රමුඛ රටවල් හයක් කටාර් රාජ්‍යය සමඟ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීම සඳහා පියවර ගැනීමත් සමඟ කටාරයේ මුදල් ඒකකය භාවිත කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය.

සිංගප්පූරුවේ බැංකුවල උපදෙස් මත කටාර් රියාල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක් කටයුතු කළ බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය ද සඳහන් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකු හතරක ගනුදෙනුකරුවන් කටාර් රියාල් මිලදී නොගන්නා බව රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
“අපේ බැංකුවේ සිංගප්පූරු පාර්ශවය කටාර් රියාල් මිලදී නොගන්නා ලෙසට අපට උපදෙස් දුන්නා” යැයි මෙරට බැංකුවක ජ්‍යෙෂ්ඨ මුදල් ගනුදෙනුකරුවකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දෙන තෙක් බලා සිටින බව රාජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවකු ද රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.