(අංජුල මහික වීරරත්න)

හැටන් සමර්හිල් වතුයායේ තේ වත්තක දී මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සිදු වු ආකාරය සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව වහාම විමර්ශණයක් කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08) එම අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.

දඩයක්කරුවෙකුගේ මන්දකට හසුවී සිටි මෙම කඳුකර කොටියා අසල තිබු යුකැලිප්ටස් ගසකට නැඟ සිටිය දී මන්ද එම සත්වයාගේ ඉණ ප්‍රදේශයෙන් තද වී තිබේ.

නමුත් එම සතාගේ ජීවිතයට හානියක් සිදුවීම වළක්වා ගනිමින් බේරා ගැනීමට අවස්ථාව තිබිය දී වනජීවි නිලධාරින් ගස කපා බිම හෙළිම නිසා ඊට යට වී එම කඳුකර කොටියා මරණයට පත් වු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වුවද මේ සම්බන්ධව වහාම විමර්ශනයක් කරන කරන ලෙසත්, අදාල නිලධාරින්ගේ නොසැලකිල්ල නිසා එම සත්වයා මරණයට පත් වූ බව සනාථ වන්නේ නම් එම වනජීවි නිලධාරීන් සම්බන්ධව විනයානුකූල පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා ලේකම්වරියට උපදෙස් දී තිබේ.

සිද්ධිය සම්බන්ධව විශේෂ විමර්ශනයක් සඳහා අද දින ම අතිරේක ලේකම්වරයෙකුගෙන් සමන්විත පිරිසක් හැටන් සමර්හිල් වතුයාය බලා පිටත් කර හැරීමට කටයුතූ කළ බව අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.