(යොහාන් භාසුර සහ  ටී.කේ.ජී.කපිල)

රුපියල් විසි හතර කෝටි පනස් ලක්ෂයක් පමණ වීදි වටිනා කමක් ඇති කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෝලන්ත ජාතිකයකු  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

කොලොම්බියාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එහෙත් මොහු රැගෙන ආ ගමන් මල්ල එම අවස්ථාවේ ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා , එම ගමන් මල්ල රැගෙන යාම සදහා  යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ මෙම ගමන් මල්ල පිළිබඳව සැක සිතූ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එය පරීක්ෂාවට ලක් කිරීමේදී ,  පාවිච්චි කළ ෆැක්ස් යන්ත්‍රයක් තුළ වූ කඩදාසි රෝල් කීපයක , මෙම කිලෝ ග්රැම් 05 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී සොයා ගැනීමට සමත් වී තිබුණි .

මේ වනවිට මෙම මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ පෝලන්ත ජාතිකයා ද අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සදහා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .