(යොහාන් භාසුර)

ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් යුත් සාමාජිකයන් පස්දෙනකුගේ තාක්‍ෂණික කමිටුවක් පත්කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම කමිටුවේ සම සභාපතිවරු ලෙස මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරු වන ඒ. එන්. හපුගල සහ එස්. එස්. මුදලිගේ යන මහත්වරු ද, සෙසු සාමාජිකයන් ලෙස මුදල් අමාත්‍යංශයේ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ටී. අයි. ප්‍රේමරත්න, නීති කටයුතු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ඒ. කේ. ඩී. ඩී. ඩී. අරන්දර සහ තොරතුරු තාක්‍ෂණ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ඊ. ඩී. ශිරන්ත යන මහත්වරුන් ද පත්කර තිබේ.

‘ඊමේල් හරහා ලැබෙන වංචනික ගෙවීම් උපදෙස් අවදානම සහ ඕස්ට්‍රේලියාවට කළ ගෙවීමක් අතුරුදහන්වීමේ සිද්ධිය පිළිබඳව සොයා ලැබීමට මෙම කමිටුව පත්කළ අතර මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් කර හැකි ඉක්මණින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස එම කමිටුව දැනුම්දී තිබේ.