(ටී.කේ.ජී.කපිල)

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (09 ) අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

මොවුන් සියලුම දෙනා මීගමුව ප්‍රදේශයේ පදිංචි  අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයන් පිරිසකි .

මීට දින 19 කට පමණ පෙර මොවුන් බහු දින ධීවර යාත්‍රා මගින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබෙන අතර එහිදි ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ආසන්න වත්ම ඔවුන් ගමන් කළ ධීවර යාත්‍රාව කාර්මික දෝශයකට ලක් වී සිටියදී , එරට දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපත වෙත ගෙන ගොස් , එහි රදවා තබා ගැනීමෙන් අනතුරුව මෙසේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබුණි .

මෙම පිරිස අද (09) ඕස්ට්‍රේලියාවේ සිට එරට ගුවන් හමුදාවට අයත් ඒ.එස්.වයි.- 975 දරණ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස සමග ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලීය නිලධාරීන් පිරිසක් විසින් භාර ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

ඉන් අනතුරුව මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

එහිදී මොවුන් ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව , මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .