(අංජුල මහික වීරරත්න)

නුවරඑළියේ පිහිටි මෙරට ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානයේ පැළ රෝපණ කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

රුපියල් කෝටි  දෙකක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කර ඇත.

අපනයනය කළ හැකි සෑම පළතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දී ඇති උපදෙස් පරිදි මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කර තිබේ.

මෙම ස්ට්‍රොබෙරි වගාව සඳහා ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් බවත්  ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර තිබෙන බවත්  ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා පැවසීය.