(අංජුල මහික වීරරත්න)

ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූහ.

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම, ව්‍යාපාරික හවුල්කාරිත්වයන් සඳහා රට තුළ පවතින හිතකර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තෝරාගත් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බැලීමට ඕමානය සූදානම් බව පන්කාජ් ඛිම්ජි මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ආයෝජන වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ පවතින විවිධ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය ඕමාන ආයෝජකයින් වෙත ආරාධනා කළාය. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් අතර වඩාත් සමීප සබඳතා ගොඩනැගීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධානය යොමු කළා ය.

වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගිතාව සඳහා නව ක්ෂේත්‍ර හඳුනාගැනීමේ වැදගත්කම මෙන්ම, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.