ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකය. සාදයකට ගිය තරුණයකු යතුරු පැදියෙන් එද්දී පොලිසියෙන් ඇල්ලීය. මධුවිත පානය කර සිටි ඔහු පොලිස් නිලධාරීන් විසින් පොලිසියට ගෙන ආවේ බීමතින් රිය පැදවීමේ වරදට උසාවියට ඉදිරිපත් කිරීම සඳහාය.
වරදේ ස්වභාවය දත් තරුණයා බීමතින් රිය පැදවීමේ වරදට උසාවියට ඉදිරිපත් කරන බව දැන සිටියේය. ‘කොහොමත් ඉතින් දැන් උසාවියටනේ දාන්නේ.‘ යැයි සිතූ ඔහු පොලිසිය සමඟ තිබූ තරහ පිට කළේ හොඳටම බනිමිනි.
‘මුන් අල්ලන්නේ අහිංසක බසියිකල් කාරයන්ව විතරයි. ලොකු ලොකු වාහන වල යන අයව අල්ලන්නේ නෑ. ඇල්ලුවත් සල්ලිවලට බේරනවා.‘ යැයි එක දිගටම දෝෂාරෝපණය කරන්නට විය.
ටික වේලාවකින් ඔහු කූඩුවට දැමීය. කූඩුවේ සිටිමින් ද කියවන්නට විය.
රාත්‍රී 12ට පමණ ළං වෙද්දී පොලිස් ඇප දී ඔහු එළියට ගන්නට මිතුරකු ආවේය. උප සේවයේ සිටි පොලිස් නිලධාරියා ඇප කොළය ලියද්දී පොලිස් ස්ථානාධිපති පොලිසියට ආවේය.
ප්‍රදේශයේ වෙනත් පොලිසි දෙකක ස්ථානාධිපතිවරුන් දෙදෙනකුගේ ස්ථාන මාරු නිමිත්තෙන් පැවැති සාදයකට සහභාගී වී ඔහු ආ බව තරුණයා දැන සිටියේය.
‘තමුසෙලාගේ ලොක්කත් පාටියකට ගිහින් ආවේ. මාත් පාටියකට ගිහින් ආවේ. ලොක්කත් බීලා ආවේ. මාත් බීලා ආවේ. ලොක්ක ආවේ ආණ්ඩුවේ වාහනේක. මං ආවේ මගේ වාහනේ. ලොක්කට බීලා වාහන එළවන්න හොඳ නම් මං බීලා එළවාගෙන ආවහම මොකද වෙන්නේ?‘ යැයි හයියෙන් කෑ ගැසීය.
එය ඇසුණු පොලිස් ස්ථානාධිපති ඔහුට ඇප නොදී උදේ වන තුරු කූඩුවේ තබන්නැයි කීවේය.
උදේ ස්ථානාධිපති පොලිසියට ආ ගමන් ගියේ සිර මැදිරිය ළඟටය.
‘තමුන් ඊයේ කෑ ගැහුවා නේද මං බීලා හිටියේ කියලා?‘
‘නෑ ‘
‘තමුන්ට මඟේ කටින් දුඟදක් වහනය වුණා දැනුනද?‘
‘නෑ‘
‘තමුන් දැක්කද මං වැනි වැනී එනවා‘
‘නෑ‘
‘පාරේ බීපු මිනිස්සු එනවා දැකලා තියෙනවානේ. මං එහෙමද ආවේ?‘
‘නෑ‘
‘එහෙනම් තමුන් කොහොමද ඊයේ කිව්වේ මං බීලා ආවේ කියලා?‘
‘නෑ මහත්තයා. මං ඊයේ බීලනේ හිටියේ‘
එතැනට ආ කාන්තා පොලිස් නිලධාරිනියක් කීවේ මේ තරුණයා රෑ එළි වෙනකම් පොලිස් නිලධාරීන්ට දෝෂාරෝපණය කළ බවයි.
‘තමුන් මොකද පොලිස් නිලධාරීන්ට බැන්නේ‘
‘නෑ. මං බීලනේ හිටියේ.‘ තරුණයාගේ පිළිතුර විය. ටික වේලාවකින් ඔහුට පොලිස් ඇප ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීල හිටියත් මේ මනුස්සයා, උසාවියේ පෙරකදොරුවෙක් කතා කරනවා වගේ නේ නිදහසට කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. කොහොම උණත් බීමතින් රිය පැදවීම නම් අනතුරු සහිතයි !!! (ම)
මිනිස්සු අරක්කු බිල කරන්නේ බොරු. කවුරු හරි බලා ඉන්නවා නම් දාන සෙල්ලම් වැඩියි. පොලිසිය අරක්කු බිල වාහන පදවන අයට නිතිය ක්‍රියාත්මක කිරීම මදි. හැමදාම අරක්කු බිල වාහන පදවන අය ඉන්නවා . අල්ලන්න බැහැ. හිතවත්තු . නිලදාරීන් වෙනත් පොලිසි වලින් ගෙනල්ල වරින් වර අල්ලන්න ඕනා. බිල වාහන එලවන හැමෝටම තදින් පොලිසිය නිතිය ක්‍රියා කරන්න ඕනා.(නදී)
බීලා ඉන්න කෙනෙක් හොස්පිට්ල් ගෙනියන්න ඕනි තමයි ඒ බීලා කියලා රිපෝට් එකක් ගන්න මිසක් ඇඩ්මිට් කරන්න නෙමෙයි. මාගලීට නීතිය කියලා දෙන්න වෙයි වගේ (බ)
ඕ අයි සී මහත්තය රෑම තමුන්ට මඟේ කටින් දුඟදක් වහනය වුණා දැනුනද?‘ තමුන් දැක්කද මං වැනි වැනී එනවා.. කියල ඇහුවේ නැත්තෙ අැයි .. ආආ කොල්ල බීලානේ හිටියේ ....(බ)
පොලිසියට බිලා ඉන්න කෙනෙක් ව වෙරි හින්දෙනතුරු පොලිසිය භාරයේ තිය ගෙන නිදහස් කරන්න පුළුවන්. බිලා සාමයට බාධා කලොත් නීති කඩ කළොත් නඩු දාන්නත් පුළුවන් .. නමුත් බොන්න තහනමක් නැහැ (ම)
යහලුවනේ බීමත්කම බොරුවක් බව පෙන්වීමට අපි මේ හරහා හොද කතිකාවක් ගොඩ නගමු. අපිත් ඉන් වැලකී බොන අය ගණන් නොගන රැවටිමට අහුවුණ අය නිසා ...ඒ අයට අනුකම්පා කර ඉන් මුදවා ගැනීමට එය යහපතක් වේවි.(ම)
මේවා අද කාලේ හැමතැනම සිද්ධවෙනවා (නි)
සංජයගේ අදහස හරි.බේබද්දෙක් එළවපු වාහනයක් බයිසිකලයේ හප්පලා කකුල කැඩිලා මම මාස තුනක් දුක්වින්ඳා.පාඩුව මට.මිනිහා යසට ඉන්නවා. (නි)
බීමතින් වාහන එළවන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක වියයුතු වේ. (නි)
බීලා ඉන්න කෙනෙක් අල්ලලා පොලිසියේ නෙමෙයි තියාගන්නේ රෝහලකට අරගෙන යන්න ඕනෑ. ඒකයි නීතිය.ඊටපස්සේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් (නි)
අත පය කඩානොගෙන ඔය තරමින් බේරුනා ඇති පුතෝ ! (නි)
බීමත්කම කියන්නේ ඇත්තටම බොරු වැඩක්. බොන මිනිස්සු අතරේ උගත් නූගත් කියලා බේදයක් නැහැ.මේවට අහුවුණ හැම පුද්ගලයක්ම බොනවා.පහුගිය දවසක මම මඟුල් ගෙරක ගියා. අපි නොබොන අය පිරිසක් තමා ගියේ. ඇත්තටම බීලා කරන දෙවල් දැක්කම අපිට හිනා. මම යාලුවන්ට පෙන්නුවා ඇත්තටම බිව්වම සිද්ධවන සත්‍ය දේවල්.හැබැයි මේ වැඩිහිටියෝ දෙන ආදර්ශය තමයි ඉතාම නරක.මඟුල් ගෙවල් වලට අරක්කු ගෙනල්ලා ඒවා බීලා නටනකොට බලාගෙන ඉන්න පොඩි උන්ට දෙන ආදර්ශය මොකක්ද? අන්න එහෙම තමා මේ වැරදි දේවල් අප පවත්වාගෙන යන්නේ. (නි)
පොලිස් ඇප ලබා දීමෙ හැකියාවක් තියෙද්දි හේතුවක් නැතිව නොදී ඉදීමේ නීතිමය පසුබිම කුමක්ද? දන්න අයෙක් කියන්න (බ)
මොනවා වුනත් ජොලි කොල්ලෙක්. (බ)