(සුජිත් හේවාජුලිගේ )

මෙරටින් විශේෂයෙන් හඳුනාගනු ලැබූ ජෛව පටල සාම්පල 96 ක්  ඔමික්‍රෝන්  ඇතුළු සැර කොරෝනා වයිරස  ප්‍රභේද ඇත්දැයි ස්ථිරයෙන්ම තහවුරු කරගැනීම සඳහා   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා විසින්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධයන අංශයට අද (27) බාරදෙනු ලැබීය.

මෙරට ජාන අනුක්‍රමණ පරීක්ෂණ සිදු කරන ප්‍රධානම  අංශය ලෙස සැලකෙන්නේ එම ආයතනයයි.

මේ අනුව එම ජෛව පටල සාම්පල 96 පිළිබඳ පරීක්ෂණ හෙට (28) ආරම්භ කරන බව එම අධ්‍යයනාංශ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

එම පරීක්ෂණවල ප්‍රතිඵල ඉතාම ඉක්මනින්ම ලබාදීමට බලාපොරොත්තු වන බවද  හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දෙනු ලැබ ඇති එම සාම්පලවලින් බහුතරයක්  විදේශ රටවලින් පැමිණි  පුද්ගලයන්ට  අයත් ඒවා බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය  ආසාදනයවූ  සිවු දෙනෙක්  මෙරටින් පසුගියදා සොයා ගනු ලැබූහ.

මෙරටින් සොයා ගැනුණු පළමු ඔමික්‍රෝන්  ආසාදිතයා නයිජීරියාවේ සංචාරයක යෙදී මෙරටට පැමිණි කාන්තාවකි.

ඉන් දින කිහිපයකට පසු ආසාදිතයෝ තිදෙනෙක් සොයා ගනු ලැබූහ.